May 21, 2024

නියෝජ්‍ය කතානායක ධුරයට තුන්කොන් සටනක්! සුදර්ශනීට ඒකාබද්ධයේ සහය

දැනට හිස්ව පවතින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා නම් දෙකක් යෝජනා වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් හිටපු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නමත්, එක්සත් ජාතික පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතාගේ නමත් කතානායකවරයාට යෝජනා කර ඇත.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජ්‍ය කතානායක තනතුරට පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේද සහයෝගය හිමිවන බව ද වාර්තා වේ.

මේ අතර නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ නම යෝජනා කර තිබේ.

නියෝජ්‍ය කතානායක ධූරය මෙතෙක් හිමිව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වුවත් එයට තවත් නම් යෝජනා කිරීමට සෙසු පක්ෂවලට ද අවස්ථාව තිබෙන බව කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේය.

හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු එම ධූරයෙන් ඉල්ලා අස්විය.

නියෝජ්‍ය කතානායක ධුරයට නම් කිහිපයක් ඉදිරිපත් වී තිබෙන හෙයින් සුදුස්සකු තෝරා ගැනීමට හෙට (05) මැතිසබයේදී රහස් ඡන්දයක් පැවැත්වීමට සිදුවන බව කතානායක කාර්යාලය පවසයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 June 2018 19:28