පළාත් පාලන මැතිවරණයට පෙර ඉදිරි දින කිහිපයේදී දේශපාලන පිල් මාරුවීම් රැසක් සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග පැවසී ය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට සහාය පළ කිරීමේ සූදානමක් තිබෙන බවටද වාර්තා වෙයි.
මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු ලබන 21 වැනිදා එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමක් පවතින බවට පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර ඇතැයිද වාර්තා වෙයි.
ආණ්ඩුවේ පිරිසක් මහින්ද පිලට
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ආණ්ඩුවේ සැලකිය යුතු පිරිසක් නුදුරේදීම ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවයි.
ආණ්ඩුවෙන් ඉවත්ව එ්කාබද්ධ විපක්ෂයට එකතු වන බව කියන ශ්‍රීලනිප ඇමැතිවරුන් පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අනුව කැබිනට් අමාත්‍යවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු මෙලෙස ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බවත් පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා සඳහා එම ඇමැතිවරුන් ඔවුන්ගේ නියෝජිතයන් ඉදිරිපත් කර ඇති බවත්ය.