April 26, 2024

එජාප - ශ්‍රීලනිප ප්‍රබල ඇමැති දෙපල කැබිනට්ටුවේදී මත ගැටුමක: ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමට සැරසෙයි

ප්‍රබල ඇමැතිවරුන් දෙපලකගේ බහින්බස් වීමක් හේතුවෙන් ඊයේ (10) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරී වූ බව වාර්තා වෙයි.

ඒ මහාමාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ කී‍්‍රඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙනි.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට මහනුවර දක්වා කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා වාදයක පැටලීමත් සමග කැබිනට් රැස්වීම උණුසුම්කාරි වූ බවයි.

වැඩි පොලියට අති විශාල මුදලක් ණයට ගෙන මෙම කොටස ඉදිකිරීමට වඩා ප‍්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කරන්නැයි දයාසිරි ජයසේකර ඇමැතිවරයා එහිදී පෙන්වා දී ඇත.

තමා අධිවේගී මාර්ග ඉදිකිරීමට විරුද්ධ නැති බවත් අධිවේගි මාර්ගයේ කොළඹ සිට කුරුණෑගල දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන බැවින්, කුරුණෑගල සිට මහනුවර දක්වා දැනට ඇති මාර්ගය පුළුල් කළ හැකි බවත් දයාසිරි ජයසේකර ඇමැතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර ඇත.

ඊට පිළිතුරු දී ඇති ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම අත්‍යවශ්‍ය බවත් කවුරුන් විරුද්ධ වුවද එය සිදු කරන බවත්ය.

පසුගිය මහා මැතිවරණයේදි ශ්‍රීලනිපය පරාජය වූ බව පවසා ඇති කිරිඇල්ල මහතා එසේ තිබියදී ආණ්ඩුවට එක්වී ආණ්ඩුවේ කටයුතුවලට බාධා කරන බවට චෝදනා කර ඇත.

කිරිඇල්ල ඇමැතිවරයාගේ එම චෝදනාවට මහින්ද අමරවීර ඇමැතිවරයා පිළිතුරු දී ඇති අතර ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දිය නොහැකි නම් ආණ්ඩුවේ සිටීමෙන් පලක් නැතැයි ඔහු පවසා තිබේ.

එසේ නම් ආණ්ඩුවෙන් ඉවත්ව යාම සුදුසු බවද අමරවීර ඇමැතිවරයා පවසා ඇතැයි වාර්තාවේ.

දයාසිරි ජයසේකර ඇමැතිවරයාට සහාය පළ කරමින් මහින්ද අමරවීර, සුසිල් පේ‍්‍රමජයන්ත සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන්ද අදහස් දක්වා ඇති අතර කිරිඇල්ල ඇමැතිවරයාගේ සහායට කබීර් හෂීම් සහ මලික් සමරවික‍්‍රම යන අමාත්‍යවරුන් අදහස් දක්වා ඇති බව වාර්තාවේ.

දෙපිරිස අතර වාදය උත්සන්න වෙද්දි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මැදිහත්වී එය සමථයකට පත්කර ඇති බවද වාර්තාවේ.

මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට මහනුවර දක්වා කොටසේ ඉදිකිරිම් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූව පිළිබඳව අගමැතිවරයාද පැමිණි පසුව සාකච්ඡා කර විසඳුමකට එන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇතැයි දැන ගන්නට ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 October 2017 11:17