April 26, 2024

කරළියෙන් එහා: එජාපයේ ප්‍රබලයින් තිදෙනෙකු‍ගෙන් අගමැතිට දැඩි බලපෑමක් - අන්තරේ බැසිල් එක්ක සාකච්ඡාවක්

September 22, 2017

පළාත් සභා තුනේ ඡන්ද විමසීමද කල් දැමීමට ආණ්ඩුව කටයුතු කළේය. මේ සම්බන්ධයෙන් මුල සිටම ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේ පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවයි. පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ සම්මත කළ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට එක්කර තිබෙන සංශෝධනවලට පළාත් සභා ඡන්දය එකම දිනයක පැවැත්වීමටත් එම ඡන්ද විමසීම කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමටත් නියමිතය. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවද කතානායකවරයාගේ අනුමැතිය තවමත් ඊට ලැබී නැත. කෙසේ වෙතත් අද හෙටම පනත් කෙටුම්පතට කතානායක අත්සන් කිරීමත් සමග එය නීතියක් බවට පත් වේ. අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ආණ්ඩුවේ අදහස පළාත් පාලන මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් දෙකම ලබන වසරේ මාර්තු මාසයට පෙර පවත්වන බවය. ඒකාබද්ධ විපක්ෂය විරෝධය ඊට විරෝධය දැක්වුවද එය එසේ සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයා විදේශ ගතවීමටත් පෙර අගමැතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට පළාත් සභා ඡන්දය එකම දිනයක පැවැත්වීමටත් ඒ වෙනුවෙන් උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත් සභාවල ඡන්දය විමසීම කල් තැබීමටත් තීන්දු කර තිබූ බවයි.

මහින්දගේ ප්‍රශ්නයට රනිල්ගෙන් පිළිතුරු

මේ මාසය අවසන් වීමට පෙර නිල කාලය අවසන් වන පළාත් සභා තුනෙහි මැතිවරණයන් දෙසැම්බර් මස 09 වැනිදා පවත්වන බවට මැතිවරණ කොමිසම කියා සිටියත් ඒ ගැන ආණ්ඩුවේ මතය කුමක්දැයි හිටපු ජනාධිපති, කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය 19 වනදා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න කළේය. “අපිට දැනගන්න ඕන පලාත් පාලන ඡන්දය හොදයි ජනවාරි මාසයේ තියෙනවනේ. පළාත් සභාව තුනක් තියෙනවා ඉතුරු වෙලා ඔක්තෝම්බර් මාසයේ විසිරෙන මැතිවරණ කොමසාරිස් කියනවා දෙසැම්බර් මාසේ 09 වැනිදා වෙනකොට අපි මැතිවරණය තියෙනවා කියලා. අපිට දැන ගන්න ඕන ඒක ඒ ආකාරයෙන්ම සිදු වෙනවද කියලා.“ යැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය. එම ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසූවේ එම දිනය තමා තීරණය කළ එකක් නොවන බවත් පක්‍ෂ නායකයින් හමුවී සාකච්ඡා කර පිලිතුරක් දෙන බවත්ය.

මේ අතර බැඳුම්කර කොමිසම මේ වනවිට දිනපතාම සිදුවන සිදුවීම් ගැන ජනතාවගේ ද දැඩි අවධානයක් ඒ වෙත යොමුව පවතී. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ දිනවල මතුවෙමින් පවතින මෙම නවතම තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නවීන් දිසානායක, රුවන් විජේවර්ධන හා සජිත් ප්‍රේමදාස යන එජාපයේ ප්‍රබල අමාත්‍යවරුන් තිදෙනා පසුගිය දිනක අගමැතිවරයා මුණගැසිණ. මේ බැඳුම්කර ගනුදෙනුවේ වගඋත්තරකරුවන් ලෙස හෙළිදරව් වන පුද්ගලයන්ට කිසිම සමාවක් නොදිය යුතු බව අමාත්‍යවරු තිදෙනා අගමැතිවරයාට පෙන්වා දුන්හ. “සර් මේ ගනුදෙනුවේ වරදකරුවන් එළිදරව් වුණාට පස්සේ ඒ අයව ආරක්ෂා කරන්න අපි කවුරුත් පියවර ගන්න හොඳ නැහැ. ඒ අයට සමාවක් දෙන්න එපා” යැයි රුවන් විජේවර්ධන මහතා අගමැතිවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියේය. “ඔව් එහෙම සමාවක් දුන්නොත් ඒක අපේ පක්ෂයට හොඳ නැහැ. අපේ පක්ෂයට ඒ හරහා අගෞරවයක් වෙනවා” යැයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවැසීය. මෙලෙස වරදකරුවන් ලෙස ඔප්පුවන කිසිවකුට රජයේ තනතුරු ද ලබා නොදිය යුතු බවටද මෙහිදී නවීන් දිසානායක මහතා යෝජනා කළේය. අගමැතිවරයාද මෙම තිදෙනාගේ යෝජනා හා ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවක් පෙනෙන්නට විය.

අරුන්දික දිගට හරහට ආණ්ඩුවට දෙහි කපයි

පසුගිය සතිය තුළත් මෙරට දේශපාලන කරලිය තුළ අරුන්දික ප්‍රනාන්දු මහතාද ගැන දැඩි කතාබහක් ඇති විය. ඒ ඔහු ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණීම නිසාය. අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද සිදුකර ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට මාරු විය. අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී තම ප්‍රකාශය සිදුකිරීමට සූදානම් වෙත්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබෙන් පිටත්ව යාමට සැරසිණි. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස මහ හඩින් ඝෝෂා නගමින් ‘මේ ටිකත් අහගෙනම යන්න’ පැවැසූහ.

අරුන්දික ප්‍රනාන්දු මහතා තම ප්‍රකාශය තුළදී ආණ්ඩුව දිගට හරහට විවේචනය කළ අතර ඉන් අනතුරුව සභා ගැබ මැදින් විපක්ෂයේ අසුන් වෙත පැමිණ කෙළින්ම ගියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අසලටයි. රාජපක්ෂ මහතා අසලට පැමිණ මඳක් පහත් වී ඔහු සමග සිනාමුසුව යමක් පැවැසූ අතර පසුව ඒකාබද්ධයේ සියලුම මන්ත්‍රීවරු නැගී සිටිමින් අරුන්දික ප්‍රනාන්දු මහතා අත් ‍පොළසන් දී පිළිගත්හ. ඇතැම් මන්ත්‍රීවරු ඔහු වැලඳ ගත් අතර ‘සෙල්ෆි’ ඡායාරූපද ගත්හ. එම ඡායාරූප එසැනින් මුහුණු ‍පොතටද එක්ව තිබිණ. එජාපයේ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මතුකරන ලද වරප්‍රසාද ප්‍රශ්නයක් හේතුවෙන්ද එදින පාර්ලිමේන්තුව උණුසුම් විය. “පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පූර්ණ නිගමන කරන්න බැහැ. පූර්ණ නිගමන කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාටද ප්‍රකාශ කරන්න බැහැ’යැයි මාරසිංහ මහතා ප්‍රකාශ කරනවාත් සමග මැති සබයම දෙබරයකට ගල් ගැසුවාක් මෙන් ඇවිස්සිනි. මේ කතාවට වැඩිපුරම කෝප ගත්තේ අනුර කුමාර දිසානායක මහතායි. මෙහිදී මාරසිංහ මහතා හා දිසානායක මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය.
‘හොරු රකින්න කටයුතු කරන්න එපා, චී ලැජ්ජයි, මෙයාලා මොන මහාචාර්යවරුද?’ අනුර කුමාර මහතා ආවේගශීලීව පැවැසීය. මෙහිදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගී සිට කතා කරන්නට විය. එවිට ඔහුගේ කතාවටද ජවිපෙ මන්ත්‍රීවරු බාධා කළහ. ‘සිට්ඩවුන් කෑ ගහන්නේ නැතිව වාඩිවෙනවා’ යැයි මෙහිදී කිරිඇල්ල මහතාද කෝපයෙන් පැවැසීය.

එජාපය ගැන පාක්ෂිකයින්ට එපා වෙයි

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් කලකිරී සිටින පාක්ෂිකයෝ පිරිසක් පසුගියදා තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට රාජිත සේනාරත්න මහතා හමුවූහ. “අපි පසුගිය ඡන්දයෙදිත් පක්ෂය වෙනුවෙන් කැපවුණා. අපි වැඩ කරපු සමහර මැති ඇමැතිවරුන් දැන් අපිව හඳුනන්නෙත් නැති විදියටයි ඉන්නේ” යැයි මෙම පාක්ෂිකයෝ රාජිත සේනාරත්න මහතාට පැමිණිලි කළහ. බියගම, මහර, කැලණිය ආසනවලට අයත්වූ මෙම පාක්ෂිකයෝ බොහෝ කලක සිටම එජාපයේ ප්‍රබල ආධාරකරුවන් ලෙස කටයුතු කළ පිරිසක් වූහ. “ඔය විදියට අසාධාරණයට ලක්ව පක්ෂය පිළිබඳ කලකිරී සිටින ඔබගේ කණ්ඩායම සඳහා රැස්වීමක් කැඳවමු” යැයි රාජිත සේනාරත්න මහතා මෙම පාක්ෂිකයින් පිරිස අතර සිටි සුනිල් තිත්තගල්ල මහතාට පැවැසීය.
මේ අනුව පසුගිය සඳුදා දින ගම්පහ උත්සව ශාලාවකට මෙම පාක්ෂිකයන් 400ක් පමණ පිරිසක් රැස්විය. මෙහිදී ඔවුන් තම ගැටලු හා ප්‍රශ්න ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කළහ. “දැන් අපිම පත්කරපු ඇමැතිවරුන්ව මුණගැහෙන්නවත් අපිට බැහැ” මෙම පාක්ෂිකයෝ එක හඬින් ප්‍රකාශ කළහ. “සමහර මැති ඇමැතිවරු රැකියා විකුණනවා. ඒත් අපිට දෙන්නේ නැහැ.“ යැයිද ඇතැම් පිරිස් මෙහිදී චෝදනා කළහ.

“මම මෙහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ. එජාප මන්ත්‍රීවරුන්ට මම රස්සා සිය ගණනින් බෙදා දී තිබෙනවා. ඒවා ඔයාලට ලැබේවි කියලයි මම හිතාගෙන හිටියේ” රාජිත සේනාරත්න මහතා පැවැසීය. “ඔයාලගේ ගැටලුවලට ඉක්මනින් විසඳුමක් දෙන්න මම කටයුතු කරන්නම්. රට තුළ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒවා විසඳන්න අප කඩිනමින් කටයුතු කරනවා. ඊට පසු පාක්ෂිකයින්ගේ ගැටලුවලට අපි උත්තර දෙනවා” යැයිද රාජිත සේනාරත්න මහතා මෙහිදී ‍පොරොන්දු විය.
මෙහිදී චතුර සේනාරත්න මහතාද පාක්ෂිකයින් පිරිස හමුවී ඔවුන්ගේ දුක්ගැනවිලි පිළිබඳ සොයා බැලීමට පියවර ගත්තේය. “රාජ්‍ය අංශය තුළ විතරක් ‍නෙවෙයි පෞද්ගලික අංශය තුළත් රැකියාවන් අපගේ පාක්ෂිකයින් වෙත ලබාදෙන්න මම කටයුතු කර තිබෙනවා” යැයි ඉදිරියටත් කටාන හා මීරිගම ප්‍රදේශවලට අලුත් ෆැක්ටරි කිහිපයක් ගෙන එන්නත් මම කටයුතු කරනවා” යැයි චතුර සේනාරත්න මහතා පැවැසීය.
“මම වොක්ස්වැගන්’ කතා කියන්නේ නැහැ. ඒත් ජාත්‍යන්තර කීර්තියට පත් ආයතනයක ලොකු ෆැක්ටරි එකක් ළඟදීම ගම්පහට ගේන්න මම කටයුතු කරනවා. දැන්ම ඒකේ නම මම කියන්නේ නැහැ. ඒ ෆැක්ටරි එක ආවම ගම්පහ අපගේ පාක්ෂිකයින්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා” යැයිද චතුර සේනාරත්න මහතා පැවැසීය.

අන්තරේ මහින්දගේ පක්ෂ කාර්යාලයේ

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ මූලස්ථානයට පැමිණියහ. ඔවුන් එසේ පැමිණියේ සයිටම් විරෝධී සටනට සහය ලබා ගැනීමටයි. නෙළුම් මාවත කාර්යාලයේදී වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරීන් බැසිල් රාජපක්ෂ මහතා සමග අදහස් බෙදා ගත්හ.
“ඔයාලගේ සටනට අපි උපරිමයෙන් උදව් කරනවා.” බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. “අපේ පක්ෂයේ වෘත්තීය සමිති නායකයන්ව අපි ඒ සඳහා පූර්ණ කාලීනව යොදවලා තියෙන්නේ.” බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් වෛද්‍ය ශිෂ්‍යයන් දැනුවත් කළේය. එහිදී අදහස් දැක්වූ ජ,පුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවෙක් මෙසේ පැවැසීය. “අපි මාස 09ක් තිස්සේ මේ සටන කරගෙන යනවා. අපේ සහෝදරවරුන්ට ප්‍රශ්න තියෙනවා. ඒත් අපි මේ සටන අතහරින්නේ නැහැ.”
“මේ ආණ්ඩුව එක්ක සටන් කරනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද මේ ආණ්ඩුවේ ඉන්නේ තෙතමනයක් නැති මිනිස්සු. ඒ හින්දා අපි උපක්‍රමශීලී වෙන්න ඕන.” බැසිල් රාජපක්ෂ මහතා වෛද්‍ය සිසුන්ට අවවාද කළේය.

තිගාම්බරම් සමඟ ගහපු ප්ලෑන් එක හෙළිවෙයි

පසුගිය 17 වනදා හැටන් ඩී.කේ.ඩබ් ශාලාවේදී පැවති දිගා පදනමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් ඩිජිටල් පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විශේෂ හෙළිදරව්වක් කළේය. ඒ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා යහපාලන රජයට සහයෝගය දැක්වීමට පෙර එතුමා සමඟින් බම්බලපිටිය කුඩා කාමරයක රහස් සැලැස්මක් සැකසූ බවයි.

එමෙන්ම අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා අද සිටින තැන ගැන වැඩියෙන්ම සතුටු වෙන පුද්ගලයා තමන් බවත් ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කරන සේවය ගැන තමන් දහස් වාරයක් ස්තූතිවන්ත වන බවත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. " දිගාම්බරම් මැතිතුමා අද ඉන්න තත්වෙ ගැන බලපුවාම වැඩියෙන්ම සතුටු වෙන මිනිහෙක් තමයි හරීන් ප්‍රනාන්දු කියන්නේ.ඒකට හේතුවක් තියෙනවා. එතුමා මේ තැනට එනවා.එතුමා මේ ලංකාවේ ඉන්න ලොකුම ඇමතිවරයෙක් වෙනවා.බොරු තොණ්ඩමන්ව පරද්දලා හොඳ මනුස්සයෙක් වන එකම මනුස්සයෙක් වෙන්නේ එතුමයි කියන එක මමයි එතුමයි ප්ලෑන් එකක් ගැහුවේ.බම්බලපිටියේ පුංචි කාමරයක් ඇතුළේ.ඉතිං ඒක දන්නේ මමයි එතුමයි විතරයි.එතුමා ඒ ආණ්ඩුවේ ඉන්නකොට යූඑන්පී ආණ්ඩුවට එන්න කියලා වැදලා පොඩි ප්ලෑන් එකක් ගහපු පළවෙනි මිනිහා තමයි මම.ඒ නිසා මම තමයි දිගම්බරම් අද ඉන්න තැන ගැන සතුටුම වෙන මිනිහා හරීන් ප්‍රනාන්දුයි කියලා කියන්න ඕන" හරීන් කියා සිටියේය.

ඇමතිගේ විරෝධය මැද අධිවේගී මාර්ග කෝප් කමිටුව වෙතට

පසුගිය 19වෙනි දින මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබිණි. පසුගිය වසරේ ජූලි මස අටවෙනිදා දින එම අධිකාරිය කෝප් කමිටුවට කැඳවීමෙන් අනතුරුව වසරකට පසුව මෙම කැඳවීම සිදුකර තිබිණි. එම කැඳවීම සිදුකිරීමට නියමිතව තිබුණේ වාර්ෂිකව සිදුකරන සාමාන්‍ය එකක් ලෙසය. එහෙත් පසුගිය දිනවල අධිවේගී මාර්ග සම්බන්ධයෙන් හෙළිදරව් වූ මහා පරිමාණ ටෙන්ඩර් වංචා සහ ඇස්තමේන්තු වංචා නිසා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුවට කැඳවීමට විරෝධය පළකරමින් විවිධ චෝදනා කෝප් කමිටු සභාපතිවරයා වෙත එල්ල කිරීමට පටන් ගත්තේය. අන්තිමේදී මෙම ගැටලූව කතානායකවරයා හමුවට පැමිණියේය.

පසුගිය අඟහරුවාදා දින කතානායකවරයා විසින් කෝප් සභාපතිවරයා, විගණකාධිපතිවරයා සහ ඇමතිවරයා කැඳවා මේ පිළිබඳව සාකච්ඡුා කළේය. එහිදී ඇමතිවරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුවට කැඳවීමට ඉඩ නොදෙන බවට තදින් ප‍්‍රකාශ කොට තිබේ. කෝප් සභාපතිවරයා පවසා ඇත්තේ, තමන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන බවත් රාජ්‍ය ආයතනයක ගිණුම් සම්බන්ධ කාරණා පමණක් නොව සාමාන්‍ය ක‍්‍රියා පටිපාටිය වුවද කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස විමර්ශනයට ලක්කිරීමට තමන්ට හැකි බවයි. එමෙන්ම තමන් ප‍්‍රශ්න කිරීමට ලක්කරන්නේ, විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවට අනුව පැන නැගුණු කරුණු සම්බන්ධයෙන් බවද කෝප් සභාපතිවරයා පවසා ඇත. විගණකාධිපතිවරයාද පවසා ඇත්තේ තම ආයතනය මාර්ග සංවර්ධන අධිකාරිය පිළිබඳව වගණන වාර්තාවක් සකස් කර ඇති බවයි. ”මම මගේ නිලධාරීන් කෝප් කමිටුවට එවන්නේ නැහැ” ඇමතිවරයා ප‍්‍රකාශ කර ඇත. ”ඇයි ඔය තරම් බය වංචා දූෂණ කරලා නැත්නම්. වැරදි තොරතුරු තියෙනවනම් නිලධාරීන් කෝප් කමිටුවට ඇවිත් නිවැරදි කරයි.” සුනිල් හඳුන්නෙත්ති පවසා ඇත. ”ඇයි පරණ ඒවා හොයන්නේ නැත්තේ.” ඇමතිවරයා නැවත විමසා තිබේ. ”මඟ නැගුම ගැනත් අපි හෙව්වා. වාර්තා දුන්නා. ඔබතුමා තමයි ඒවට අවශ්‍ය පියවර ගන්නේ නැත්තේ” සුනිල් හඳුන්නෙත්ති පවසා තිබේ.

කරුණු මෙසේ තිබියදී මාර්ග සංවර්ධන අධිකාරිය පසුගිය අඟහරුවාදා කෝප් කමිටුවට කැඳවූ අතර නිලධාරීන් පනස්පස්දෙනෙකුට ආසන්න පිරිසක් විමර්ශනයට පැමිණ සිටියහ. මෙහිදී සිදුකරන ලද විමර්ශනවලදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ විශාල අක‍්‍රමිකතා ප‍්‍රමාණයක් හෙළිදරව් වී තිබේ. නියමිත පරිදි ශක්‍යතා අධ්‍යන වාර්තා සහ තාක්ෂණික ඇගයීම් වාර්තා සකස් කර නොමැති බවත් ආර්ථික කළමනාකරණ කමිටුවට යොමුකරන ලද ලිපි මෙන්ම අක‍්‍රමවත් ගෙවීම් පිළිබඳවද විශාල කරුණු ප‍්‍රමාණයක් හෙළිදරව් වී තිබේ.
”මේ රටේ වැඩියෙන්ම හොරකම් කරන මාර්ග බවට පත්වෙලා තියෙන්නේ ගුවන් මාර්ග සහ අධිවේගී මාර්ගයි” පැය පහකට අධික විමර්ශනයකින් අනතුරුව කෝප් සභාපතිවරයා නිලධාරියෙකුට පැවසීය.

ඔබතුමාලගේ නායකයාට ලොකු පිළිගැනීමක් තිබුණා

පසුගිය දාසයවෙනි දින කඳුරට ජනතා පෙරමුණේ තරුණ සම්මේලනය කොටගල නගරයේදී පැවැත්විණි. මේ සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබ තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකය. කඳුරට ජනතා පෙරමුණෙන් ලද මෙම ආරාධනාව පිළිගත් ජවිපෙ නායකයා සමුළුවට ගිය අතර එහිදී ඔහුට විශේෂ පිළිගැනීමක් හිමිව තිබිණි. කඳුරට ජනතා පෙරමුණේ නායක රාධා ක‍්‍රිෂ්ණන් ඇතුළු තරුණ පෙරමුණේ නායකයින් ජවිපෙ නායකයා පෙළපාලියකින් කැඳවාගෙන යෑමට කටයුතු කර තිබුණි. මෙහිදී ජවිපෙ නායකයාගේ කතාවට දමිළ තරුණයින්ගෙන් විශාල ප‍්‍රතිචාරයක් ලැබී තිබුණි. පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාවාරයේදී විජිත හේරත් මන්ත‍්‍රීවරයා සමඟ කතාබහක වැටුණු රාධා ක‍්‍රිෂ්ණන් ඇමතිවරයා මෙම තරුණ සමුළුව ගැනද විස්තර කළේය. ”ඔබතුමාලාගේ නායකයාට තමයි සමුළුවේදී වැඩිම ප‍්‍රතිචාර තිබුණේ. අපි පළවෙනි වතාවට තමයි මේ වගේ සිංහල නායකයෙක් අපේ සමුළුවක ප‍්‍රධාන ආරාධිතයා විදියට එකතු කරගත්තේ. අපේ තරුණ පරම්පරාවට හොඳට සිංහල භාෂාව තෙරෙනවා. ඒ නිසා කතාවටත් හොඳ ප‍්‍රතිචාර තිබුණා. වතුකරයේ ප‍්‍රශ්නය ගැන අනුර සහෝදරයා හොඳට පැහැදිලි කළා. සමුළුවෙන් පස්සේ අපේ අය ඔබතුමාලගේ නායකයා ගැන තමයි කතා කළේ. ඇත්තටම ජවිපෙට ස්තූතියි අපේ සමුළුවට ඔබතුමාලගේ නායකයා සම්බන්ධ කිරීම ගැන.” රාධා ක‍්‍රිෂ්ණන් ඇමතිවරයා විජිත හේරත් කියා සිටියේය. ”අපි හොඳ දේවල් අගය කරන පක්ෂයක් නේ. ඔබතුමාලා තීරණය කරපු දේ හොඳ දෙයක්. ඒ නිසා අපි කල්පනා කළා, කඳුකරයේ තරුණ තරුණියන් ආමන්ත‍්‍රණය කරන්න මේක අවස්ථාවක් කරගන්න. අපේ රටේ හැම තරුණයෙක්ම මුහුණ දීලා තියෙන ඛේදවාචකයට කඳුකරයේ තරුණයත් මුහුණ දෙනවා. එයාලට මේ තත්වය තේරුම් කරලා දෙන්න ඕනෑ. අපි ඔබතුමාලාට ස්තූතිවන්ත වෙනවා අපිට ආරාධනා කිරීම ගැන” විජිත හේරත් පෙරළා රාධා ක‍්‍රිෂ්ණන්ට ස්තූතිය පළකළේය.

Rate this item
(4 votes)