April 26, 2024

කරළියෙන් එහා: “ආසයි - බයයි වගේ වැඩක්“ මැති ඇමැති පිල් මාරුව අතලඟ

September 15, 2017

මේ සතියේ දේශපාලන කරළියෙන් එහා උණුසුම් වූයේ ජනාධිපතිවරයා විසින් ශ්‍රීලනිපයට එරෙහිව කරුණු දැක්වූ ශ්‍රීලනිපයේ සමාජික නියෝජ්‍ය ඇමැතිවරයෙකු සහ පළාත් ඇමැතිවරු කිහිපදෙනෙකු ඉවත් කිරීමත් සමගයි. මේ අතර විසිවන සංශෝධනය සම්මත කිරීමට නියමිත දින පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් සිදුවන බවට මේවන විට දේශපාලන කරළියේ කතාබහක් පැතිර යමින් පවතී. ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු දහයක් පහලොවක් පමණ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව පැවසෙන අතර තවත් ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණේ එම මැති ඇමැති පිරිස ස්වාධීන කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ රැඳී සිටිනු ඇති බවයි.

ආණ්ඩුවෙන් ඉවත්ව යන කණ්ඩායමේ සමාජිකයෙකු වූ අරුන්දික ප්‍රනාන්දු පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයා විසින් ඇමැතිධූරයෙන් ඉවත් කළේය. ඒ අනුව ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප‍්‍රනාන්දු මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි පසුගිය 12 වනදා සිට එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. මේ අතර විසිවැනි සංශෝධනයට එරෙහිව ඡන්දය ලබාදීම හේතුවෙන් බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් සහ සභානායක සුනිල් ජයමිණි යන මන්ත්‍රිවරු එම ධුරවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබිණි. ඉවත් කළ ධුර සඳහා නවක මන්ත්‍රිවරුන් වන චන්දන ජයකොඩි මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසත්, හෙක්ටර් බෙත්මගේ මහතා සභානායක ලෙසත් පත් කළේය. පසුගිය 12 වනදා රාත්‍රියේ ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ නිවෙසේදී බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රි මණ්ඩලය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්වන තවත් මන්ත්‍රිවරුන් 15කගෙන් සමන්විත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති හමුවකදී 20 වැනි සංශෝධනයට එරෙහිව ඡන්දය ලබාදුන් ගුණසිරි ජයනාත් සහ සුනිල් ජයමිණි යන මන්ත්‍රිවරුන් දෙදෙනා වහාම එම ධුරවලින් ඉවත් කළ යුතු බවට ඒකමතිකව තීරණය කර තිබිණි.

ඒ අනුව පසුගිය 13 වනදා මෙම මන්ත්‍රිවරුන් දෙදෙනා ධුරවලින් ඉවත් කළ බවට බස්නාහිර පළාත් සභාවේ සභාපතිවරයා විසින් ලිඛිතව දැනුම් දුන්නේය. බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සභානායක ගුණසිරි ජයනාත් මහතා කියා සිටියේ තවත් මන්ත්‍රිවරයකුට පළාත් සභාවේ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගය පරිදි මෙම ඉවත් කිරීම සිදුකළ බවට එම ඉවත් කිරීමේ ලිපියේ සඳහන් කර තිබූ බවයි.

මහින්දගේ නිවසට ගිය ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැති

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම නිවසට පසුගියදා අමුත්තෙක් පැමිණියේය. ඒ නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඉවත් කරනු ලැබූ අරුන්දික ප්‍රනාන්දු හිටපු ජනාධිපතිවරයා හමුවීමට පැමිණ සිටියේය. ඒ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ දේශපලනඥයින් සහ ව්‍යාපාරිකයෝ ඇතුළු පිරිසක් ද සිටියහ. අරුන්දික දුටු සැනින් හිටපු ජනාධිපතිවරයා ඔහුට කතා කළේය. “අරුන්දික මම හිතුවා ඔයා එදා රාත්‍රී රූපවාහිනී සංවාදයේදී කියපු කතාව ඇහුවාම ඔය ටික වෙයි කියලා“ යැයි හිටපු ජනාධිපතිවරයා කී කතාවට අනෙක් පිරිසද සිනාසුනහ. “ නැහැ සර් ඉතින් මම කියන්න ඕන ටික කියලා දැම්මා. ඔබතුමා නැතිව හදන ආණ්ඩුවක් පවතින්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව“ යැයි අරුන්දික ද සිනාසෙමින් පිළිතුරු දුන්නේය.

එතන සිටි මහාචාර්ය ජී.එල්. පීරිස්ද එක්විය. “ආණ්ඩුවට කර කියා ගන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව නීතිය ගැනවත් කිසිම තැකීමක් කරන්නේ නැහැ“ යැයි ජී.එල්. පීරිස් කීවේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ද කතාවට එක්විය. “මෙතන තියෙන්නේ ආසයි - බයයි වගේ වැඩක්. සමහර ඇමැතිවරු එන්න කැමතියි. නඩු දානවා කියලා ඒ අය බය කරනවා. ඒ නිසා සමහරු යන්න ඉන්න අනෙක් අයටත් කියනවා අපි තව ටිකක් ඉදිමු කියලා. ඕක තමයි වෙන්නේ.“ හෙට්ටිගේගේ කතාවට මහින්ද රාජපක්ෂ කීවේ වෙනස් කතාවකි. “එන අයට අපි බලකරන්න හොඳ නැහැ. ඒ අයටම හිතලා තීන්දුවක් ගන්න ඉඩ දෙන්න ඕන. මොකද දේශපාලනය කියන්නේ ජනතාවත් එක්ක කරන දෙයක්නේ“ යැයි හිටපු ජනාධිපතිවරයා කී කතාව අනෙක් පිරිසද අනුමත කළේය.

කෝච්චියේ ගිය මෛත්‍රීට මිනිස්සු “පිස්සෙක්“ කියයි

“දරුවන් සුරකිමු”වැඩසටහනට එක්වීමට මෛත්‍රී පසුගිය සිකුරාදා උදෑසන කොළඹ සිට මහනුවර බලා පිටත්ව ගියේ හෙලිකොප්ටරයකිනි. උදෑසන එම වැඩසටහනට එක්වූ මෛත්‍රී පසුව රිය අනතුරකින් මිය ගිය ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරියෙක් සඳහා ඉදිකළ නිවස හා ඉඩම් ඔප්පුව දීමට දිගන ප්‍රදේශයේ පිහිටි එම නිවසට ගියේය. ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක සමග එක්ව මෙම නිවස ඉදිකර තිබුණේය. මෛත්‍රී දිවා ආහාරය ලබාගැනීමට මහනුවර ජනාධිපති මන්දිරයට ගියේය. ඔහු දිවා ආහාරය ගත්තේ පැරණි රස කතා කිහිපයක් සිහිපත් කරමින්ය.

“70දී ජාඇළ අතුරු මැතිවරණයට මම ඡන්ද රැස්වීම්වලට ගියා. වනවාසල පැත්තේ රැස්වීමක මම යූ.එන්.පී. එකට හොඳටම ගහලා කතාවක් කළා. මම කතාව කරලා ඉවරවෙලා කෝච්චියේ නැගලා එන්න ස්ටේෂන් එකට ගියා. තුන්දෙනෙක් ඇවිත් මාව උස්සාගෙන ඇවිත් එතැන තිබුණ කුණු වලකට මාව උස්සලා දැම්මා. මම ඇඳගෙන හිටපු සුදු ඇඳුම පුරාම කුණුයි, දැලි තෙල්වලිනුයි නෑවිලා. කෝච්චිය ආවම අනික් අයට නගින්න දීලා මම අන්තිමට නැග්ගා. නැගලා ඇතුළට යන්නේ නැතිව ෆුට් බෝඩ් එකේ එල්ලිලා ආවා. එතකොට මිනිස්සු මෙන්න පිස්සෙක් කියලා කෑ ගහන්න ගත්තා. පස්සේ මම කුණු වළකට වැටුණා. ඒ නිසා ඇතුළට එන්නේ නෑ කියලා දිගටම ෆුට් බෝඩ් එකේ ආවා”මෛත්‍රී කීවේ දිවා කෑම මේසයේ සිටි අයත් සිනා ගන්වමිනි.

මහින්ද රනිල් හමුවෙන්න යයි

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයාගේ දියණිගේ විවාහ මංගල උත්සවයට එක්වූයේ තවත් දේශපාලනඥයන් කිහිප දෙනකු සමගය. ජනාධිපතිවරයා හා අගමැතිවරයා විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද එහි පැමිණ සිටියේය.
“ජේ.සී. මන්ත්‍රීතුමාගේ තාත්තයි මමයි 77 ඡන්දයේදී එකට පාර්ලිමේන්තුවට ආවේ. මම බියගමින් එනකොට අලවතුවල මන්ත්‍රීතුමා දොඩගම්ගස්ලන්දෙන් ආවා” රනිල් කීවේ අලවතුවල පවු‍ලේ දේශපාලන ඉතිහාසය ගැන සිහිපත් කරමින්ය.
මේ අතර මහින්දට රනිල් හමුවීමට අවශ්‍ය බව පසුගිය සතියේදී දැනුම්දී තිබුණේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී එම හමුව සංවිධානය කර තිබුණි.

රනිල්ගේ නිල කාර්යාලයට පැමිණි මහින්දට සුපුරුදු පරිදි රනිල් කළු කෝපි සංග්‍රහයක් සූදානම් කර තිබුණි. මහින්ද සමග ගිය අනෙක් මන්ත්‍රීවරුන්ටද රනිල්ගේ කළු කෝපි සංග්‍රහය බුක්ති විඳීමට අවස්ථාවක් ලැබුණේය.
“පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙනාවේ කෙළින්ම පාර්ලිමේන්තුවටයි. ඒ නිසා අපිට අධිකරණයට යාමට අවස්ථාවකුත් නෑ. සමෘද්ධි නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්න බෑ. විදුහල්පතිවරුන්ට ඊට වඩා වැඩි බලපෑමක් කරන්න පුළුවන්. හිටපු හමුදාපතිවරයා ඊයේ අයින් වෙලා අද ඡන්දයකට යන්න අවස්ථාවක් ඒ කාලයේ ලබාදී තිබුණා” ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
“අපි පක්ෂ නායක රැස්වීමක් කැඳවලා මේ ගැන කතා කරමු” රනිල් කෙටියෙන්ම පිළිතුරු දුන්නේය.

ජනාධිපතිගෙන් ජවිපෙ සාමාජිකයාට අවසන් ගෞරව

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන ලාල් සිරිසේන විසින් පැදවූ රථයේ ගැටී ජවිපෙ ක‍්‍රියාකාරී සාමාජිකයෙකු වූ ඒ.ජේ.එම්. ජයරත්න සහ ඔහුගේ වැඩිමල් සහෝදරයා වූ ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිත්ක්ෂයට පත්විය. ඒ.ජේ.එම්. ජයරත්න ජවිපෙ දිරිය පුරවැසි සමිතියක සභාපති ධුරය දැරීය. බුද්ධදාස වකුගඩු රෝගියෙකු වූ අතර ප‍්‍රතිකාර සඳහා රෝහල ගොස් එමින් සිටියදී අනතුරට ලක්විය. රිය අනතුරෙන් පසුව වාහනය පලාගිය අතර රථය සැඟවීමට කටයුතු කර තිබිණි. ප‍්‍රදේශවාසීන්ගේ සහ ජවිපෙ පොළොන්නරුව සංවිධායකයාගේ මැදිහත්වීම නිසා වාහනයත් එය පැදවූ ලාල් සිරිසේනත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදුවිය. මෙම සිදුවීමෙන් පසු දින, එනම් පසුගිය ඉරිදා දිනයේදී ජනාධිපතිවරයා මිය ගිය දෙදෙනාට අවසන් ගෞරව දැක්වීමට පොළොන්නරුවට ගොස් තිබිණි. ජනාධිපතිවරයාගේ පැමිණීම රහසක් වූ අතර කිසිදු මාධ්‍යවේදියෙකුට එය දැනගැනීමට නොහැකිවී තිබිණි. ජනාධිපතිවරයා සමඟ මහින්ද අමරවීර ඇමතිවරයා පැමිණ සිටි අතර ආරක්ෂකයින් කිහිපදෙනකුට සීමා විය. ”ඔබතුමාගේ මල්ලි මගේ මනුස්සයා මරාගත්තා” යනුවෙන් මියගිය ජයරත්නගේ බිරිඳ හඩා වැටුණි. ජනාධිපතිවරයා ඇය අස්වසාලීමට කටයුතු කළේය.

ජවිපෙ පොළොන්නරුව සංවිධායක ටී.බී. සරත් සමඟ කතාබහ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ අනතුරුවය. ”අපි මේ ගැන නීතියෙන් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අපි ඔබතුමාගෙන් මේ පවුලට දරුවන් දෙදෙනාට යුක්තිය බලාපොරොත්තු වෙනවා. මොකද මේ පවුල බලාගත්ත දෙන්නා දැන් ජීවතුන් අතර නැහැ. දරුවන්ට යන කලදසාව ගැන අනිවාර්යෙන්ම මැදිහත් වෙන්න ඕනෑ. ඔබතුමාගේ මල්ලිට යුතුකමක් තිබුණට අනතුරට පස්සේ අඩුම තරමේ මේ දෙන්නා රෝහලට ගෙනියන්න. ඒක කළේ නැහැ.” ටී.බී. සරත් කියා සිටියේය. ”අනිවාර්යෙන්ම පවුල වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනවා. මම ඒ ගැන ඩඞ්ලිට කියන්නම්. අනිවාර්යෙන් මැදිහත්වෙන්න කියලා මම කියනවා. දරුවන් ගැන යුතුකමක් ඉටුකරනවා.” ජනාධිපතිවරයා කියා සිටියේය. අවසන් කටයුතු සඳහා සහභාගි වූයේ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාය. ජවිපෙ සාමාජිකයින් සහ ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් අවසන් කටයුතු සඳහා සහභාගි විය. ”මන්ත‍්‍රීතුමා ඔබතුමාලා මැදිහත් වුණ නිසා තමයි ලාල් සිරිසේන පොලිසියට බාර වුණේ. නැත්නම් මේක යටගහලා දානවා. ජවිපෙ සාමාජිකයෙක් නිසා මේ විදියට ජනාධිපතිතුමාටත් මළ ගෙදර එන්න වුණා.” මිය ගිය දෙදෙනාගේ ඥාතීන් සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට කියා සිටියේය.

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ජවිපෙට පැසසුම්

චීන කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ ආරාධනයකට අනුව දකුණු ආසියානු වමේ පක්ෂ සඳහා පැවැත්වුණු විශේෂ වැඩසටහනක් සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටි ජවිපෙ ප‍්‍රධාන ලේකම් පසුගිය අඟහරුවාදා දිනයේ නැවත ලංකාවට පැමිණියේය. ප‍්‍රධාන ලේකම්වරයා සමඟ මධ්‍යමකාරක සභික නීතිඥ ජානක අධිකාරී මෙම සංචාරයට එක්විය. මෙම වැඩසටහන ඔක්තෝබර් විප්ලවයට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානය කළ වැඩමුළු සහ සම්මන්ත‍්‍රණ කිහිපයකින් සමන්විත විය. එහිදී චීනයේ ප‍්‍රාන්ත කිහිපයකදී වැඩසටහන ක‍්‍රියාත්මක විය.
ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තවත් දේශපාලන පක්ෂ දෙකක සාමාජිකයින්ද මෙම සංචාරයට එක්ව සිටි අතර ශ‍්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ විශේෂ ස්ථානයක් ජවිපෙ ප‍්‍රධාන ලේකම්වරයාට ලැබුණු අතර වෙලාවට වැඩකිරීම සහ විනය, හරවත් දේශන ඉදිරිපත් කිරීම පිළිබඳව ජවිපෙට චීන කොමියුනිස්ට් පක්ෂ සාමජිකයින්ගේ විශේෂ පැසසුමට ලක්විය. ජවිපෙ ප‍්‍රධාන ලේකම්වරයා විසින් බීජිංහිදී පැවැති වැඩසටහනකදී ‘මාක්ස්වාදය දේශීය තත්වයන්ට අනුව යොදා ගැනීම’ සම්බන්ධයෙන් විශේෂ දේශනයක් ඉදිරිපත් කරන ලදී. නීතිඥ ජානක අධිකාරී විසින් යුනෑන්හි චීන කොමියුනිස්ට් පක්ෂයේ පක්ෂ පාසලේ පැවැති සම්මන්ත‍්‍රණයේදී පක්ෂය ගොඩ නැගීම යන මාතෘකාව යටතේ දේශනයක් පැවැත්විය. මෙම වැඩසටහනේ අධ්‍යාපනික වැඩමුළු සහ සම්මන්ත‍්‍රණ තුළදී චීනයේ කාර්මික නවීකරණය, ¥ෂණ විරෝධී ව්‍යාපාරය සහ කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීම යන මාතෘකා යටතේ වැඩසටහන් දියත් විය.
සියළු ධීවර වරාය බද්දට?... අමාත්‍යංශය ඔව් කියයි... ඇමති නෑ කියයි..

හිටපු ඇමතිවරයෙක් විජිතට කතා කරයි..

ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පසුගියදා දොළොස්වෙනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් විශේෂ හෙළිදරව්වක් කළේය. ඒ මෙරට තිබෙන සියලූම ධීවර වරායන් පෞද්ගලික අංශයට බදුදීම සඳහා මහින්ද අමරවීර කැබිනට් පත‍්‍රිකාවක් සම්මත කර ගෙන ඇති බවය. ධීවර නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි ගොඩනැගිල්ල සහ භූමියද ධීවර වරායන් 10ක්ද කෝටි 170කට ආසන්න මුදලකට මේ වනවිටත් ඇස්තමේන්තු කර ඇති බවද මන්ත‍්‍රීරයා කියා සිටියේය. මෙම හෙළිදරව්වත් සමඟ ධීවර අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙක් පුවත්පතකට කියා තිබුණේ දේශීය හෝ විදේශීය හොඳ ගැණුම්කරුවෙක් පැමිණියහොත් වරායන් බදුදෙන බවත් ධීවර වරායන්හි වැලි ඉවත් කිරීමට විශාල මුදලක් දැරීමට සිදුවන නිසා ධීවර සංස්ථාවට එම මුදල සොයා ගත නොහැකි බවත්ය. කෙසේ වෙතත් මෙම හෙළිදරව්ව කළ පසු දිනම හිටපු ධීවර ඇමතිවරයෙකු විජිත හේරත් මන්ත‍්‍රීවරයාට දුරකතනයෙන් ඇමතීය. ”මන්ත‍්‍රීතුමා ඔබතුමා දන්නවද? මේ ධීවර වරායන්වලට එකතුවන වැලි ටික විතරක් විකුණලා සංස්ථාවට ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඒ නිසා මේ වරාය ටික විකුණන් නොදී බේරගන්න ඔබතුමාලා වැඩ කරන්න. අපි පුළුවන් උදව්වක් කරන්නම්” හිටපු ඇමතිවරයා විජිත හේරත්ට කියා සිටියේය. කෙසේ වෙතත් මහින්ද අමරවීර ඇමතිවරයා පසුදින මාධ්‍යහමුවක් පැවැත්වීය. ”ජවිපෙ මන්ත‍්‍රීතුමාට කවුරු හෝ වැරදි තොරතුරක් ලබාදීලා. ධීවර වරාය බදු දෙන්න කැබිනට් පත‍්‍රිකා අත්සන් කරලා නැහැ. එක වාක්‍යයක් අල්ලගෙන චෝදනා කරනවා.” ඇමතිවරයා කීය. මේ ප‍්‍රකාශයත් සමඟ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ කැඳවුම්කරු රත්න ගමගේ විජිත හේරත්ට ඇමතුමක් දී මේ බව කියා සිටියේය. ”දැන් ඇමති කළබල වෙලා. එහෙනම් ඇයි කැබිනට් පත‍්‍රිකාවට ජනාධිපතියි ආරක්ෂ ඇමතියි මුදල් ඇමතියි නීරීක්ෂණ ඉදිරිපත් කළේ. නාවික හමුදාවේ කටයුතුවලට බාධාවක් නොවන විදියට බදුදෙන්න කියලා තමයි ආරක්ෂක ඇමති විදියට ජනාධිපති නිර්දේශ දීලා තියෙන්නේ. වැඬේ එළියට ආවාම දැන් කළබල වෙලා විකාර දොඩවනවා. කොහොමත් මේවා බදුදෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ධීවර සමති සංස්ථාවේ සේවකයෝ සියල්ලම මේ වැඬේට විරුද්ධයි” විජිත හේරත් කියා සිටියේය.

බදු පනතට ආසයි... විගණන පනතට බයයි...

ජවිපෙ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජවිපෙ ගත් තීරණයත් සමඟ ක්‍ෂේත‍්‍රයේ බොහෝ පිරිසක් ජවිපෙ මන්ත‍්‍රීවරුන්ට ස්තූති කරමින් දුරකතන ඇමතුම් ලබා දුන්නේය. ”මන්ත‍්‍රීතුමා මේ ආණ්ඩුවේ ලොක්කෝ බදු පනත දාලා අපිට බදු ගහනවා. අයවැය ගේනකොට දිගට හරහට බඩුමිල වැඩි කරලා, බදු ගහලා, දඩ වැඩි කරලා අපෙන් සූරලම ගන්නවා. ඒත් ඒ ගන්න බදු මුදල්වලින් දඩ මුදල්වලින් මොකද රටට වෙන්නේ කියලා ජනතාවට දැනගන්න විදියක් නැහැ. විගණන පනත සම්මත කළානම් මේ සියලූම රාජ්‍ය ආයතනවල මුදල් ගණුදෙනු වෙන්නේ කොහොමද කියලා ජනතාවට පැහැදිලිව දැනගන්න පුළුවන්.” හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට දුරකතන ඇමතුමක් ලබාදී කියා සිටියේය. ”ඔව්, මේ ආණ්ඩුව බදු පනතට ආසයි. විගණන පනතට බයයි. වංචා ¥ෂණ නැති කරන්න කැමති නම් මේ පනත ගේන්න ප‍්‍රමාද කරන්නේ නෑනේ. දැන් අවුරුදු දෙකහමාරයි ප‍්‍රමාදයට. මේ විගණන පනත සම්මත වුණොත් ඇමතිවරුන්ට තමන්ට ඕන විදියට ටෙන්ඩර් ටික යාළුවන්ට දෙන්න බැහැ. ලලිත් වීරතුංග වගේ නිලධාරීන්ට ඕන ඕන විදියට රජයේ මුදල් දේශපාලනයට යොදාගන්න බැරිවෙනවා. ඒකයි මේ පනත ප‍්‍රමාද කරන එකේ රහස. අපි මේ පනත කොහොම හරි පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

Rate this item
(2 votes)
Last modified on Friday, 15 September 2017 17:26