May 02, 2024

ෆොන්සේකාට විශ්වාසභංගයක්‌ - අත්අඩංගුවට ගන්නැයි යෝජනාවක්

September 06, 2017

ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම අද (6) අවසන් තීරණයක්‌ ගැනීමට නියමිතය.

හිටපු හමුදාපතිවරයකු වන ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව සාක්‍ෂි දෙන බවට සරත් ෆොන්සේකා ඇමැතිවරයා රට පාවාදෙන ප්‍රකාශයක්‌ කිරීම මෙයට හේතු වන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම අද පාර්ලිමේන්තුවේදී රැස්‌ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර පක්‍ෂ නායක රැස්‌වීමේදී ඒ පිළිබඳව අවසන් තීරණයක්‌ ගැනීමට නියමිතය.

ෆොන්සේකා අත්අඩංගුවට ගන්න

යුද්ධය සහ රණවිරුවන් සම්බන්ධව ජනාධිපතිවරයා කරන ප්‍රකාශයට පටහැනිව වගකිවයුතු ඇමැතිවරයකු ලෙස සරත් ෆොන්සේකා කළේ රට පාවාදෙන ප්‍රකාශයක්‌ බවත් පුළුවන් නම් මොහු සම්බන්ධයෙන් විජයදාස රාජපක්‍ෂ මහතා සම්බන්ධව ගත් තීරණයම ගෙන පෙන්වන්නැයි ආණ්‌ඩුවට අභියෝග කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

මේ අතර ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතා අත්අංගුවට ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසී ය.

මේ රටේ හමුදාපතිවරයෙකුට ද්‍රෝහි ප්‍රකාශයක් කළ සරත් ෆොන්සේකා මහතා දණ්ඩ නීති සංග්‍රහයේ රාජ්‍ය විරෝධී කටයුතු සම්බන්ධව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කළ හැකි බවත් පෙන්වා දුන් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මෙයට අමතරව ඔහු දරන ඇමති ධුරය හෝ නිලතල වරප්‍රසාද දැරිය නොහැකි බවත් කියා සිටියේය.

මෙහි ඇති පුදුමය වන්නේ මෙම කාරණාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිහඩ වී ඇති බවත් ජනාධිපතිවරයා නම් මේ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් සිදු කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(3 votes)
Last modified on Thursday, 07 September 2017 12:50