April 26, 2024

කරළියෙන් එහා: ආණ්ඩුව තවත් අඩියක් පස්සට ගනී? චන්ද්‍රිකා එද්දී මහින්ද යයි

පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ විජයදාස ඇමැතිවරයාගේ සිද්ධියත් සමඟය. ආණ්‌ඩු පක්‍ෂයේ එජාප මැති ඇමැතිවරු කණ්‌ඩායම අරලියගහ මන්දිරයේදී පසුගිය 21වනදා සවස හමු වූ අවස්‌ථාවේදී අගමැතිවරයා අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් අස්‌කිරීම සම්බන්ධව එජාපය ගත් තීරණය පිළිබඳ අදහස් දැක්වීය. අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් අස්‌කිරීම සම්බන්ධව එජාපය ගත් තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී දැනුම් දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ආණ්‌ඩු පක්‍ෂ එජාප මැති ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශ කළ අතර විජයදාස රාජපක්‍ෂ මහතාට එම ධුරයෙන් ඉවත් වීමට එජාපය පසුගිය 21 දා තෙක්‌ කල්දී තිබූ නමුත් විජයදාස රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්‌ නොවුණු හෙයින් ඒ මහතා ඉවත් කිරීමට අදාළ ලිපියක්‌ ද අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය. මෙම රැස්‌වීම සඳහා ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා සහභාගි නොවීමද විශේෂත්වයකි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති චෝදනාවට ඔහු මෙතෙක් කිසිදු පිළිතුරක් ලබාදී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා රැස්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැනුම් දී තිබිණි. විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම නොසලකා කටයුතු කර ඇති බවත් පසුගිය රජයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කරන බවටත් පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැඩි ලෙස සාකච්ජාවට ලක්විය. එහිදී අදාළ කරණා සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය මංගල සමරවීරගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක්ද පත් කරනු ලැබීය. කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පිළිබඳව හැකි ඉක්මනින් තීන්දුවක් ගත යුතු බවයි. මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතා ප්‍රකාශ කළේ “විජයදාස රාජපක්‌ෂ මහතා අධිකරණ ඇමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්‌විය යුතු බවට එක්‌සත් ජාතික පක්‌ෂය දරන තීරණයේ කිසිදු වෙනසක්‌ නෑ“

පසුව ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් අස්‌කිරීම සම්බන්ධව එජාපය ගත් තීරණය අගමැතිවරයා ජනාධිපතිවරයාට දැනුම්දීමත් සමගම අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදලා ලිපියට අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. එහිදී ජනාධිපතිවරයා විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ බුද්ධ ශාසන ඇමැති ධූරයේ තව දුරටත් කටයුතු කරන ලෙසයි. එහිදී ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත්තේ තමන්ට බුද්ධශාසන ඇමැතිකම හෝ වෙනත් ඇමැති ධූරයක් අවශ්‍ය නොවන බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා විජයදාස රාජපක්‍ෂ මහතා අධිකරණ හා බුද්ධශාසන ඇමැති ධූරයෙන් ඉවත් කිරීමේ ලිපියට අත්සන් තැබීමට තීරණය කළේය. ඒ අනුව විජයදාස රාජපක්‍ෂ මහතා අවසන් වරට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශයට පැමිණ සිය කාර්ය මණ්ඩලය අවසන් වරට අමතා ඇමැති ධූරයෙන් සමුගත්තේය.

විජයදාස එජාපය අත් නොහරියි

ඊයේ(23) දහවල් අධිකරණ අමාත්‍යාංශයට පැමිණි ඇමැතිවරයා අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්‌ඩලයට සිය ස්‌තුතිය පුදකොට නික්‌ම යන මොහොතේ දී ප්‍රකාශ කළේ අධිකරණයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරිවලට අයුතු ලෙස බලපෑම් නොකොට ඒවාට ස්‌වාධීනව කටයුතු කිරීමට ඉඩහැරීම නිසා තමාව අධිකරණ ඇමැති ධුරයෙන් ඉවත් කළ බවයි. තමන් අමාත්‍යධූරයෙන් ඉවත් නොවූ බවත් ඉවත් කළ බවත් සඳහන් කළ විජයදාස රාජපක්ෂ මහතා තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළත් තවමත් එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරයෙක් බවත් තමා ස්‌වාධීනව කටයුතු කරන බවත් තමා දේශපාලන වශයෙන් ගන්නා තීරණ ළඟදීම දැනගැනීමට හැකි බවත් කියා සිටියේය.

විජයදාස රාජපක්ෂ මහතා හිතවතුන් පිරිසක් සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ තමා තවදුරටත් එජාප මන්ත්‍රීවරයෙකු ලෙසත් ස්වාධීනව පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවයි.
“එහෙත් මම අවශ්‍ය වෙලාවට තීන්දු තීරණ ගන්නවා“ යැයිද රාජපක්ෂ මහතා කියා තිබේ.

මහින්දගේ සහය විජයදාසට

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛාව පසුගිය සිකුරාදා ආරම්භ කළේ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්ය. ගම්පහ දිස්ත්‍රික් නිදහස් නීතිඥ සංගමයේ නිලධාරී මණ්ඩලයම නව සංවිධානයේ නිලධාරීන් ලෙස පත්වූයේ සංගමයේ නම පමණක් වෙනස් කරගනිමින්ය. රැස්වීමෙන් පසුව මහින්ද ඇතුළු පිරිසට ආහාර සූදානම් කර තිබුණේ ඒ අසල තිබූ හෝටලයකය. මහින්ද සමග නීතිඥයන් පිරිසක් ආහාර ගනිමින් සිටියදී අවධානය යොමු වූයේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂට සහ නීතිපතිවරයාට ආණ්ඩුවෙන් එල්ලවන චෝදනා ගැනය.
දැන් විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරු සූදානම් වෙනවා නේද ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා ඇසුවේය. “විජයදාසට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවොත් අපිට ඒකට සහාය දෙන්න බෑ. විජයදාස කියන්නේ මගේ ගමේ කෙනා. වරදක් නොකරපු විජයදාසට විරුද්ධව ක්‍රියාමාර්ග අරගෙන දඬුවම් කරන්න ඉඩදෙන්න බෑ“ මහින්ද විජයදාස වෙනුවෙන් පෙනී සිටියේය. “රවි කරුණානායක නිසා සිදුවුණ ලැජ්ජාව වහගන්නයි ආණ්ඩුව හදන්නේ. ඒකට අපි අහුවෙන්න හොද නැහැ“ ප්‍රසන්න කීවේය.
“අ‍පෝ.... ගෙදර නෝනා කරන දේවලුත් දන්නේ නැති කෙනෙක්නේ එයා“ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා කීවේ උපහාසාත්මකවය.

චන්ද්‍රිකා එද්දී මහින්ද යයි

පාකිස්තානයේ හැත්තෑ වැනි නිදහස් උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී උත්සවයක් පැවැත්විණි. ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අතර මිත්‍රත්වය සම්බන්ධයෙන් ග්‍රන්ථයක්ද එහිදී එළි දැක්වීය. මහින්ද මේ උත්සවයට කල් ඇතිවම ගොස් තිබුණේය. මහින්දට සිදුවූයේ එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු පිරිසක් මැද අසුන් ගන්නටය. කරු ජයසූරිය, මලික් සමරවික්‍රම, දයා ගමගේ සිටියේ මහින්දගේ වටේය. ජී. එල්. පීරිස් පමණක් මහින්දගේ සහායට ඔහු අසල සිටියේය. මේ මේසයේ සිටි එකම දේශපාලනඥයෙක් නොවූ පුද්ගලයා වූයේ ආචාර්ය දයාන් ජයතිලකය. චන්ද්‍රිකාටද උත්සවයට ආරාධනා කර තිබූ අතර ඇය වෙනුවෙන් වෙන් කර තිබුණේද මහින්ද සිටි මේසයේ අසුනක්ය.“චන්ද්‍රිකා වාඩි කරවන්නේ කොතැනද“ මලික් ඇසුවේය. “ඔය කරු ළඟින් වාඩි කරන්නකෝ“ මහින්ද කීවේ සිනාසෙමිනි.
“අපි කොහොමත් මෙතුමාට එතුමිය භාරදීලයි තියෙන්නේ“ මලික් කීවේය. “බොහොම හොඳයි... බොහොම හොඳයි“ මහින්දත් සිනාවට එක්විය. මේ අතර මහින්ද තවමත් උත්සව සභාවේ සිටින බව දැනගත් චන්ද්‍රිකා සභාවට පැමිණියේ නැත. මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ටික වේලාවක් වාහනය නවතාගෙන සිටින විට මහින්ද උත්සව සභාවෙන් පිටත්වීමට නැගිට්ටේය.
“මොකද චන්ද්‍රිකා එන නිසාද යන්නේ“ කරු මහින්දගෙන් ඇසුවේය. එයට සිනාවකින් පිළිතුරු දුන් මහින්ද නැගිට ගොස් ටික වේලාවකින් චන්ද්‍රිකා එතැනට පැමිණියාය.

ආණ්ඩුවම හොරු රැක්කා... විජේදාස බිලිබෝයි වුණා...

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභා රැස්වීමක් පසුගිය විසිතුන්වෙනිදා පස්වරුවේදී කොළඹදී පැවැත්විණි. එම අවස්ථාවට ජවිපෙ නායක අනුර දිසානායක, ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයෝ සහභාගි වී සිටියහ. මෙහිදී රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදයන් පිළිබඳවත් ඉදිරි මැතිවරණය පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් විය.
විජේදාස රාජපක්ෂ ඇමති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වී තිබිණි.
”රවීගේ මුදල් ගනුදෙනු එක්ක තමයි මේ වංචා දූෂණ ගැන කතාව ආපහු උඩට ආවේ. නැත්නම් මේ ආණ්ඩුව දිගටම හොරු ගැන කතා කරන එක නවත්වලා තිබුණේ. ඒකයි අපිට කියන්න සිදුවුණේ පාර්ලිමේන්තුවේදී මූණටම හොරු කිව්වාම, හිනා වෙලා ඉන්න ඇමතිලා එක්ක වංචා දූෂණ මාතෘකාව තවදුරටත් කතා කරලා වැඩක් නැහැ කියලා. කොහොම වුණත් දැන් රවීගේ හොරකම අමතක වෙලා විජේදාස මාතෘකාව වෙලා” අනුර දිසානායක කියා සිටියේය. ”මුල ඉඳලම හොරු රැක්කේ කවුද කියලා රටම දන්නවා. වික‍්‍රමසිංහ මහත්තයා රාජපක්ෂලා ආරක්ෂා කළා ශ‍්‍රීලනිපය දෙකට කඩන්න. ජනාධිපතිතුමා තමන් ළඟට ආපු ඇමතිවරුන්ගේ වංචා දූෂණ යට ගැහුව්වා. අන්තිමට රවීගෙ හොරකම නිසා රවීට ගෙදර යන්න වුණාම එජාප මන්ත‍්‍රීන්ට හොරු ගැන කතා නොකර බැරිවුණා. ඒකයි ඇත්ත කතාව. විජේදාසත් හොරු රකින්න ඇති. ඒත් එකම චූදිතයා එයා නෙවෙයි. අන්තිමට බිලිබෝයි වුණේ විජේදාස.” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”දැන් හැමෝම එකතුවෙලා විජේදාස මුව හමට තඩිබානවා. අවුරුදු දෙකක් වංචා දූෂණ ගැන මොකුත් නොකර ඉඳලා දැන් බොරු කයිවාරු ගහනවා. ඒ අස්සේ රාජිතලා පෞද්ගලික වෛර පිරිමහගන්නවා. රවී කරුණානායකටත් මේකෙන් පොඩි වාසියක් ඇවිත් එයාගේ වැඬේ යටගිහින් නිසා. විජේදාස කියලා තිබුණා කැබිනට් එකේ ඉන්න වුණු එක ලැජ්ජයි කියලා. ජනතාවම ලැජ්ජ වෙනවා, මෙහෙම ආණ්ඩුවක් රටේ තියන එක ගැන. කොහොමත් විජේදාස ඉවත් කළා කියලා පරණ හොරුන්ටවත් අලූත් හොරුන්ටවත් දඩුවම් දෙයි කියලා ජනතාවට විශ්වාසයක් නැහැ.” විජිත හේරත් කීවේය.
”පරණ ඇමතිවරු මේ ඇමතිවරුන්ට හොරු කියනවා. දැන් ඇමතිවරු පරණ ඇමතිවරුන්ට හොරු කියනවා. දැන් තරගේ තියෙන්නේ ලොකුම හොරා තෝරන්න. රාජිත කියලා තිබුණා රටේ කාන්තාවෝ තමයි හොරු අල්ලන්න කියලා කෑගහන්නේ කියලා. එහෙම කියන රාජිතත් හොරකම් කළානේ. කොහොම වුනත් අපි හොරුන්ට එරෙහි කාන්තා බලය කියලා සම්මන්ත‍්‍රණ මාලාවක් තියලා ජනතාව දැනුවත් කරනවා.” සමන්මලී ගුණසිංහ කියා සිටියාය.

ආණ්ඩුව තවත් අඩියක් පස්සට ගනී?

පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමුවී තිබිණි. ”ආණ්ඩුව කලින් කිව්වා පළාත්පාලන මැතිවරණය දෙසැම්බර් මාසේ සා/පෙළ විභාගයට කලින් තියලා අවසන් කරනවා කියලා. නමුත් දැන් ආණ්ඩුව අඩියක් පස්සට තියලා තියෙන්නේ. දෙසැම්බර් ඡන්දෙ ජනවාරිවලට කල්දාන්න යනවා. අවුරුදු ගාණක් කල්දාලා තවත් පස්සට ගන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. පනත සම්මත කරපු ගමන් ඡන්දය පවත්වන්න ආණ්ඩුවට බලපෑමක් කරන්න වෙනවා” අනුර දිසානායක කියා සිටියේය. ”රවීගේ ප‍්‍රශ්නෙනුත් විජේදාසගේ ප‍්‍රශ්නෙනුත් ආණ්ඩුව හිතපු නැති විදියට තවත් අප‍්‍රසාදයට පත්වුණා. මීට කලින් ඡන්දය ගැන කතා කරන වෙලාවේ ඒ ප‍්‍රශ්න ආණ්ඩුවට තිබුණේ නැහැ. ඒ නිසා ආණ්ඩුව දැන් අයවැයෙන් පස්සේ ඡන්දය පවත්වන්න උත්සහයක ඉන්න බවයි පේන්න තියෙන්නේ. අයවැයෙන් සීනිබෝල ටිකක් දීලා ඡුන්දය ගන්න.” බිමල් රත්නායක කියා සිටියේය. ”කොහොමත් ආණ්ඩුව ඡන්දෙට බයයි. ඒ නිසයි මේ තරම් කාලයක් කල් දමමින් ආවේ. නමුත් තවදුරටත් ඒ වැඬේට ඉඩදෙන්න බැහැ.” ලාල්කාන්ත කියා සිටියේය.

මරදානේ ඉඩමක් කුණුකොල්ලෙට චීනෙට...

ආණ්ඩුව සිදුකරන රටට අවාසි තවත් ඉඩම් ගනුදෙනුවක් පිළිබඳව තමන්ට ලැබුණු තොරතුරක් සුනිල් හඳුන්නෙත්ති ජවිපෙ නායකයින්ගේ අවධානයට යොමු කළේය. ”පහුගිය රාජපක්ෂ ආණ්ඩුව මරදානේ සෙන්ට‍්‍රල් සිනමා එකට අයිති ඉඩමක් විකුණන්න ඇස්තමේන්තු කරලා තිබුණා. 2014දී ඉන්දියාවට දෙන්න තමයි සියලූම ගිවිසුම් සූදානම් කරලා තිබුණේ. නමුත් මොකක් හරි හේතුවක් නිසා ඒක නැවතුණා. නමුත් දැන් ඒ ඉඩම අවුරුදු 3කට කලින් කළ ඇස්තමේන්තුවටම චීනෙට දෙන්න දැන් ගිවිසුම් අත්සන් කරලා ආරංචියි. නාගරික සංවර්ධන අධිකාරිය ගිවිසුම අත්සන් කළා කියලයි දැනගන්න තියෙන්නේ. පර්චස් එකක් ලක්ෂ 30කට වගේ තමයි මිල කරලා තියෙන්නේ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. ”මරදානේ ඉඩමක් මේ තරම් කුණුකොල්ලයට ආණ්ඩුව දෙන්න යන්නේ. එක පැත්තකින් වරාය වගේ ව්‍යාපෘති විකුණනවා. ඒ මදිවට රට මැද තියෙන ඉඩම් ටිකත් චීනෙට දීලා දානවා. මේ ආණ්ඩුව අවුරුදු පහ ඉවරවෙනකොට තව මොනවා විකුණලා දායිද දන්නේ නැහැ.” වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය.

බදුපනතට එරෙහිව විරෝධතා මාලාවක්

”ආණ්ඩුව තමන්ගේ ආර්ථික අර්බුදය වහගන්න අයි.එම්.එෆ්. එකෙන් ණය ගන්නේ රටයි ජනතාවයි පාවලා දීලා. රටේ හැම පුරවැසියටම බදු ෆයිල් එකක් දීලා උපයන හැම රුපියලකටම බදු ගහන්නයි දැන් ආණ්ඩුව හදන්නේ. බදු ගහන්න පුළුවන් හැම ක්‍ෂේත‍්‍රයක්ම ආණ්ඩුව බදුවලට යටත් කරලා. රුපියල් පනස්දාහක් උපයන සෑම කෙනාම ආදායම් බදුවලට යටත් කරලා. රටේ ආදායම වැඩි කරන්න නිෂ්පාදනය වැඩි කරනවා වෙනුවට ආණ්ඩුව ජනතාවට වක‍්‍ර බදු, සෘජු බදු දෙකම එකවිදියට ගහනවා. ඒත් රටේ ජනතාව මේ බදු පනත ගැන හොඳම අවබෝධයක් නැහැ. මේ පනත සම්මත කරගන්න දෙන්න බැහැ. වෘත්තීය සමිති විදියට මේකට වැඩවර්ජනයක් කරන්න සූදානමක් තියෙනවා.” ලාල්කාන්ත නව බදු පනත පිළිබඳව මධ්‍යමකාරක සභිකයින්ගේ අවධානය යොමු කළේය. ”ඔව්, මේ බදු පනත සම්මත කරගත්තොත් ජනතාවට ලේසි වෙන්නේ නැහැ. ඒ නිසාම ජනතාව දැනුවත් කරලා මේ පනතට ලොකු විරෝධයක් හදන්න වෙනවා. අපි මේ ගැන අත්පත‍්‍රිකාවක් සකස් කරලා ජනතාවට බෙදමු. මුලින්ම මේ ගැන දැනුවත් කරන එක වැදගත්. ඒ වගේම පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරමු” විජිත හේරත් යෝජනා කළේය. ”ඒ විතරක් නෙවෙයි මේ ගැන සම්මන්ත‍්‍රණ මාලාවක් තියලා ජනතාව අතර සංවාදයක් හදන එක හොඳයි.” සුනිල් හඳුන්නෙත්ති යෝජනා කළේය.

නිර්මාණවලටත් බදුගහන්න ආණ්ඩුවට කිව්වේ දෙයියොද දන්නේ නැහැ

සරත් කුලාංග කලාකරුවාගේ ‘දෙයියෝත් දන්නේ නැහැ’ නාට්‍යයට වසර හයක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද නාට්‍ය දිගහැරුම සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස විජිත හේරත් මන්ත‍්‍රීවරයාටද ආරාධනා ලැබ තිබිණි. එමෙන්ම මේ අවස්ථාවට එම නාට්‍ය ප‍්‍රධාන චරිතයක් රඟ පෑ විජය නන්දසිරි මහතාගේ ආදරණීය බිරිඳත්, නිහාල් නෙල්සන්, ජයන්ත චන්ද්‍රසිරි, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, දීපානි සිල්වා, අජිත් මෙන්ඩිස් ඇතුළු කලාකරුවෝ පිරිසක්ද සහභාගි වූහ. මෙහිදී නාට්‍ය පිළිබඳව අජිත් මෙන්ඩිස් විසින් ලියන ලද පොත විජිත හේරත් මන්ත‍්‍රීවරයාට පිළිගැන්විනි. උත්සව මොහොතෙන් අනතුරුව කලාකරුවන් නව බදු පනත ගැන මන්ත‍්‍රීවරයාගෙන් විමසා සිටියේය. ”ආණ්ඩුව දැන් අපේ නිර්මාණවලටත් බදු ගහන්න යන්නේ. ආණ්ඩුවට නිර්මාණවලට බදු ගහන්න කවුද දන්නේ නැහැ කිව්වේ.” දිපානී සිල්වා කියා සිටියේය. ”දෙයියොත් දන්නේ නැහැ” තවත් කලාකරුවෙක් සිනා වෙමින් කීවේ නාට්‍යයේ නමත් එයම නිසාය. ”මේ ආණ්ඩුව බදු ගහන්න පුළුවන් හැම එකක්ම මේ පනතට දාලා තියෙන්නේ. ඒ නිසා එකතු වෙලා මේකට විරෝධයක් දැක්වුවහොත් මේක නතර කරගන්න පුළුවන්.” මන්ත‍්‍රීවරයා කියා සිටියේය. ශ‍්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවා විසින් විජිත හේරත් සංස්කෘතික ඇමතිවරයාව සිටියදී කලාකරුවන් වෙනුවෙන් කළ කාර්යභාරය පිළිබඳවද සිහිපත් කරමින් කතාබක යෙදිණි. ජවිපෙ ආණ්ඩුවේ සිටියදී කළ කටයුතු මතක තබාගැනීම පිළිබඳව විජිත හේරත් කලාකරුවන්ට ස්තූති කිරීමටද අමතක කළේ නැත.

Rate this item
(5 votes)
Last modified on Friday, 25 August 2017 17:26