April 27, 2024

ලබන සඳුඳා තීරණාත්මකයි! විජයදාස ඇමැතිකමෙන් ඉවත් කිරීමට එජාපය ඇතුළේ ලොකු සටනක්

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරය දැරීමට සුදුසු නොමැති බව පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (17) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ඉකුත් මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු හදවතේ නැති අයකුට අධිකරණ අමාත්‍යධුරය දැරීමට නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ මන්ත්‍රීවරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂය ඒකමතික තීරණයක් ගෙන ඇති බවත් ලබන සඳුඳා දිනයේදී ඊට නිසි පිළිතුරු ලැබෙනු ඇති බවත් පෙන්වා දුන් නියෝජ්‍ය ඇමැතිවරයා මෙම සටන නවත්වන්නේ නැති බවත් මෙය පුද්ගලයකුට එරෙහිව කරන සටනක් හෝ දේශපාලන ප්‍රශ්නයක් හෝ නොවන බවත් කියා සිටියේය.

මෙය රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් තිබෙන අභියෝගයක් සහ ප්‍රශ්නයක් බවත් සුදුසු පුද්ගලයන්, යුක්තිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය නියමිත පරිදි සිදුවිය යුතු බවට කැක්කුමක් තිබෙන පුද්ගලයන් තනතුරුවලට පත් කිරීමේ සටන ජයග්‍රහණය කළ යුතු බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙහි තවදුරටත් කටයුතු කළ යුතුද නැද්ද යන්න සම්බන්ධව නිර්දේශ කිරීමට විශේෂ කමිටුවක්‌ පත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිරිකොත පැවති පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී මෙම තීරණයට එළැඹ තිබේ.

විවිධ තර්ක විතර්ක හමුවේ මෙම රැස්‌වීම උණුසුම්කාරී වී ඇති අතර විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා සම්බන්ධව තීරණයක්‌ ගැනීමට අගමැති විසින් ඉදිරි දිනකදී මෙම විශේෂ කමිටුව පත් කරනු ඇතැයි අකිල විරාඡ් කාරියවසම් මහතා පැවසී ය.

එම රැස්වීමේදී අජිත් පී. පෙරේරා, ගාමිණී ජයවික්‍රම පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සරත් ෆොන්සේකා, නවීන් දිසානායක, අශෝක්‌ අබේසිංහ, නලීන් බණ්‌ඩාර, රංජන් රාමනායක, රුවන් විජයවර්ධන, චන්දිම ගමගේ, රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ ද මෙහිදී පසුගිය ආණ්‌ඩුවේ දූෂිතයින් මෙතෙක්‌ නීතියේ රැහැනට හසුකර ගැනීමට නොහැකිවීම සම්බන්ධව දැඩි ලෙස ආණ්‌ඩුවට දොස්‌ පවරමින් අදහස්‌ දක්‌වා තිබේ.

පසුගියදා විදේශ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූ එක්‌සත් ජාතික පක්‍ෂ උප නායක රවී කරුණානායක මහතා ද මෙහිදී වහාම හොරුන් ඇල්ලිය යුතු යැයි පවසා තිබේ.

මෙහිදී බොහෝ මැති ඇමැතීන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට ඉල්ලා අස්‌වන ලෙසත් ඔහු හිතාමතාම හොරුන් ඇල්ලීම ප්‍රමාද කිරීමට සහ නඩු යට ගැසීමට කටයුතු කරන බවටත් දැඩි ලෙස චෝදනා නගා ඇත.

මෙහිදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා අදහස්‌ දක්‌වමින් කියා ඇත්තේ පසුගිය රජයේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම තමාට කළ නොහැකි බවයි.

එහෙත් එම ප්‍රකාශයට එහි සිටි කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් සාමාජිකයන්ද එක හෙළාම විරෝධය දක්‌වා ඇත.

එමෙන්ම හම්බන්තොට වරාය නැවත කෙසේ හෝ පවරා ගන්නා බවට තමා ප්‍රකාශයක්‌ කළේ නැතැයිද මෙහිදී විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ඇමැතිවරයාගේ එම ප්‍රකාශ පිළිගැනීමට කිසිවකු එකඟ නොවූ බවත් මෙම විශේෂ රැස්‌වීම අවසානයේදී අගමැතිවරයා සහ විජයදාස රාජපක්‍ෂ මහතා පමණක්‌ වෙනමම විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත.

මෙම රැස්‌වීමේදී විජයදාස රාජපක්‍ෂ මහතා අධිකරණ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවට මන්ත්‍රීවරුන්ගෙන් දැඩි බලකිරීම් එල්ල විය. ව්‍යවස්‌ථාවේ ඇති ප්‍රතිපාදන යටතේ කෙසේ හෝ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කොට හොරුන් ඇල්ලීමට ක්‍රියා කළ යුතු බවට ද මෙහිදී තීරණය විය.

Rate this item
(3 votes)
Last modified on Monday, 21 August 2017 10:05