April 26, 2024

කැබිනට්‌ රැස්වීමත් උණුසුම්- විජයදාසට එරෙහි විශ්වාසභංගයට එජාප මන්ත්‍රීවරු 70ක්‌ අත්සන් තබයි

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට මේ වන විට එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මන්ත්‍රීවරුන් 70 දෙනකු අත්සන් තබා ඇති අතර ඒ පිළිබඳව තීරණයක්‌ ගැනීම සඳහා හෙට (17) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම ඉතා විශේෂිත වනු ඇතැයිද එහිදී එජාප පසු පෙළ සාමාජිකයින් විසින් විජයදාස රාජපක්‍ෂ මහතාට අධිකරණ ධුරයෙන් ඉල්ලා අස්‌වීමට හෝ හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධව කර ඇති ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගන්නා ලෙස බල කරනු ඇතැයිද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අධිකරණ ඇමැතිවරයා හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම සම්බන්ධව කැබිනට්‌ මණ්‌ඩල තීරණයට එකඟ වී පසුව පිටතදී එම තීරණයට විරුද්ධ මතයක්‌ ප්‍රකාශ කිරීම මඟින් කැබිනට්‌ මණ්‌ඩල සාමූහික වගකීම පැහැර හැර ඇතැයි බහුතර මතය වී තිබේ.

තමන් අධිකරණ ඇමැති ධුරයෙහි සිටින තෙක්‌ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව කිසිදු නීතිමය පියවරක්‌ නොගන්නා බවට විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයද එජාපයේ දැඩි දෝෂදර්ශනයට ලක්‌ව තිබේ.

කැබිනට්‌ රැස්වීමත් උණුසුම්

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට්‌ රැස්‌වීමේදී දූෂණ චෝදනා එල්ල වී ඇති රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ට සහ පසුගිය ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට මෙතෙක්‌ නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් ප්‍රශ්න කිරීම නිසා එම රැස්‌වීම දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ ගෙන ඇතැයි වාර්තා වේ.

මෙහිදී කැබිනට්‌ ඇමැතිවරුන් විශාල පිරිසක්‌ දැඩි ආවේගයෙන් අදහස්‌ දැක්‌වූ බව ද වාර්තා වේ.

මෙම කටයුතු විශේෂ අධිකරණයක්‌ මගින් නීත්‍යනුකූලව කිරීමට ව්‍යවස්‌ථාවෙන් අවස්‌ථාවක්‌ නොමැති නම් දැනට පවතින අධිකරණයක කටයුතු කැප කර එය මහාධිකරණයක්‌ බවට පත් කිරීමෙන් පසු දූෂිත වංචා නඩු විභාග කිරීමට කටයුතු කරන මෙන් තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම මහතා දැඩිව ප්‍රකාශ කර තිබේ.

මෙම යෝජනාවට පක්‍ෂව බහුතරයක්‌ ඇමැතිවරුන් අදහස්‌ දැක්‌වූ බව සඳහන් වන අතර සාගල රත්නායක, තිලක්‌ මාරපන, පාඨලි චම්පික රණවක ඇමැතිවරුන් එහි පෙරමුණ ගෙන කටයුතු කර තිබේ.

එසේම අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳවද ඇමැතිවරුන් මෙහිදී අදහස්‌ දක්‌වා ඇති අතර ඔහුගේ පිළිතුර වී ඇත්තේ තමන්ට අධිකරණයට බලපෑම් කළ නොහැකි බවයි.

එසේම ඒ. එච්. එම්. ෆවුසි මහතාට සහ පියංකර ජයරත්න මහතාට විරුද්ධව පවරා ඇති නඩු, මහා පරිමාණ දූෂණ වංචා ලෙස සැලකිය නොහැකි බවට මෙහිදී අදහස්‌ පළවී තිබේ.

රජය තවදුරටත් මෙලෙස කටයුතු කළහොත් හොරු අල්ලන්නේ කෙසේදැයි ඇමැතිවරුන් විමසා ඇති අතර එය ආණ්‌ඩුවේ පැවැත්මට කිසිසේත්ම හිතකර නොවන බවද එහිදී ප්‍රකාශ කර තිබේ.

Rate this item
(2 votes)
Last modified on Thursday, 17 August 2017 10:19