April 27, 2024

රවීගෙන් පසු විජයදාස - සාගල ඇමැතිවරු ගැනත් ප්‍රශ්නයක්

වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිපදෙනෙක් පිළිබඳ නැවත වතාවක් සිතිය යුතු බවත් වර්තමාන විදේශ ඇමැති, අධිකරණ ඇමැති, නීතිය හා සාමය භාර ඇමැතිවරුන් ගැන රජය වහාම පියවරක් ගත යුතු බවත් වමේ කේන්ද්‍රයේ සමකැඳවුම්කරු චමීර පෙරේරා මහතා අවධාරණය කරයි.

රවි කරුණානායකගේ විශ්වාසය භංග වී තිබෙන නිසා ඔහුට එරෙහිව අලුතින් විශ්වාසභංග ගෙන ඒමේ අවශ්‍යතාවක් නැති බව සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේය.

යහපාලන ආණ්ඩුවට තමන්ගේ තිබෙන පාරදෘශ්‍ය භාවය පෙන්වීමට නම් චෝදනාවට ලක්ව සිටින රවි කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත් එය යහපාලන ආණ්ඩුවක තිබෙන්නා වූ කැපවීම බවත් ඔහු සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුව පසුගිය අවුරුදු දෙකහමාරක කාලය තුළ චෞරයන්ට නීතිය ක්‍රියාත්මක කරපු විදිය ගැන බරපතළ ප්‍රශ්නයක් ඇති බවත් රවි කරුණානායකගේ චෝදනාවට ආදාළව පිටු අටදහස් හයසියයක් පැය 48ක් ඇතුළත කියවන බවත් පෙන්වා දුන් ඒ මහතා නමුත් ගෝඨාභය රාජපක්ෂ කෝටි 9ක් වියදම් කර තමන්ගෙ මවුපියන්ට කෞතුකාගාරයක් ඉදිකිරීමට වියදම් කළ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂගේ අස්සන සෙවීමට අවුරුදු දෙකහමාරක් ගතවී ඇති බවත් චමීර පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ගැනත් අධිකරණ අමාත්‍යවරයා ගැනත් වහාම තීරණයක් ගත යුතු බවත් බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් රවි කරුණානායක වගේම මේ ආණ්ඩුවේ යම් යම් මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් තොරතුරු ඇති බවත් මොවුන් සම්බන්ධයෙනුත් විමර්ශන සිදුවිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 13 August 2017 12:00