May 09, 2024

ආණ්ඩුව දෙදරයි: සම්මුති ආණ්ඩුව ගලවා එජාප රජයක් පිහිටුවීමේ සැලසුමක්

සම්මුතිවාදී ආණ්ඩුවේ කාලය අවසන් වුවද එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් කබීර් හෂීම් මහතා මේ බව සඳහන් කළේය.

සම්මුතිවාදී ආණ්ඩුව තවදුරටත් ආරක්ෂා කිරීමට තම පක්ෂය කැපවී සිටින බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් පිරිසක් ප‍්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවයි.

තවත් මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු එම සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා ගන්නා තීන්දු තිරණවලට සහාය දෙමින් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවය.

ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්විය නොහැකි වුවද යම් යම් සාධනීය පියවර කිහිපයක් ගැනීමට හැකිවූ බව ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවට අදහස් දක්වා ඇති මැති ඇමැතිවරුන් ප‍්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු ප‍්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වුවද ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉඳිමින් ජනාධිපතිවරයාට සහයෝගය දිය යුතු බවය.

මැති ඇමැතිවරුන්ගේ ප‍්‍රකාශවලින් අනතුරුව අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා නැවත මහ මැතිවරණයක් එන්නේ 2020 දී බැවින් ළඟ බලා තීන්දු නොගන්නැයි මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

එබැවින් ලබන දෙසැම්බර් 31 වැනිදා වනතෙක් තමන් සමඟ ආණ්ඩුවේ සිටින්නැයි ද ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 17 July 2017 12:05