April 27, 2024

කරළියෙන් එහා: ජනපතිගේ රතු කට්ට පනී - මෛත්‍රී රනිල්ටත් නොකියා කියයි

මේ සතියේ දේශපාලන කරළිය උණුසුම් වී තිබුණේ කුණු ප්‍රශ්ණයට ආණ්ඩුවේ ප්‍රතිචාරයත්, පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දූෂණ මර්දන කමිටු කාර්යාලය පිළිබඳව ජනාධිපතිවරයා කළ දැඩි අදහස් දැක්වීමත් නිසාය.

මේ හේතුවෙන් මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම තුළ පැවැතියේ අතිශය උණුසුම්කාරී වාතාවරණයකි. මෙම කමිටු කාර්යාලයේ නිල කාලය මේ වසර අග තෙක් දිගු කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අගමැතිවරයා මගින් ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී ජනපතිවරයා ඒ පිළිබඳව දැඩිව කරුණු විමසීය. “මෙච්චර කාලයක් මොකක්ද මේ කාර්යාලය කළේ? උපදේශකයො දහයක් ඉන්නවා. ඔවුන්ට ඉහළ පඩි ලැබෙනවා. යාන වාහන ලබාදීල තියෙනවා. ඒත් මේ කමිටුවෙන් තවම මොකවත් වෙලා නැහැ. කාටද මේ කමිටුවෙන් නඩු පවරලා තියෙන්නේ”යැයි ජනපතිවරයා තරමක දැඩි ස්වරයෙන් කැබිනට් මණ්ඩලය දෙස බලා විමසීය.

මෙහිදී මහින්ද අමරවීර මහතාද ජනපතිවරයාගේ ප්‍රකාශය අනුමත කරමින් අදහස් කිහිපයක් දැක්වීය. එහිදී යළිත් වරක් මේ පිළිබඳව තම හඬ අවදි කරමින් ජනපතිවරයා මෙසේද පැවැසීය. “මම මේ බැරිම තැනයි මේ විදියට ප්‍රශ්න කරන්නේ. මම බොහොම කාලයක් ඉවසගෙන හිටිය. මම දන්නව මම මේ කියන දේවල් ජනමාධ්‍යවලත් යන්න පුළුවන්. ඒත් කරන්න දෙයක් නැහැ. මට මේ ගැන ප්‍රශ්න කරන්න වෙනවා.”
මෙහිදී ජනාධිපතිවරයා මෙසේ දිගින් දිගටම ව්‍යංගයෙන් වුවද චෝදනා නගන්නේ අගමැතිවරයාට බව පෙනෙන්නට තිබිණ. “මම ළඟදී දවසක, එෆ්.සී.අයි.ඩී. එකේ, නිලධාරියෙක් කැඳවල කරුණු විමසුවා. ඔහු කිව්වේ, තෝරාගත් නඩු 35ක් වෙත ඔවුන් අවධානය යොමු කර ඇති නමුත්, ඉහළින් බලපෑම් එන බව” යැයි ජනපතිවරයා මෙහිදී පැවැසීය.
“නීතිපති දෙපාර්තමේන්තුවෙනුත් මම මේ ගැන ඇහුවා. ඔවුන් කිව්වෙත් විමර්ශන සීමා කිරීමට ඉහළින් බලපෑම් එන බවයි. කව්ද මේ බලපෑම් කරන්නේ? ඒ ගැන මම දන්නවා. ඕනනම් ප්‍රසිද්ධියේ කියන්නත් පුළුවන්”යැයිද මෙහිදී දිගින් දිගටම ජනපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ දැඩි ස්වරයෙන් ප්‍රකාශ කරන්නට විය. ඉන් නොනැවතුණු ජනපතිවරයා මෙසේද පැවැසීය.
“මේ දූෂණ කමිටු කාර්යාලය වැඩිපුරම නඩු දාල තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයටයි. ෆවුසි ඇමැතිතුමා ‍පොඩි වරදක් කළාම ඔහුට නඩු පැවැරුවා. ප්‍රියංකර ජයරත්න, දුවට පත්වීමක් දුන්නම ඒකටත් නඩු පැවැරුවා. එයා ආයෙත් පක්ෂයට එන්නයි හිටියේ. මේ නිසා එයා තරහ වුණා. කව්ද මේ ගේම් ගහන්නෙ කියල මම දන්නවා. මේ අය මහින්ද රාජපක්ෂ කල්ලියත් එක්කයි ඉන්නෙ.”

මෙහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද තම හඬ අවදි කළේය. “ඔව් අපට දැන් ගමට යන්න බැහැ. අපි බොරු කියල ආණ්ඩුව පෙරලුවා කියනවා. හොරු කාවවත් ඇල්ලුවේ නැහැ කියනවා. මේක හරි ප්‍රශ්නයක්.” යැයි රණවක මහතාද ජනපතිවරයාගේ අදහස්වලට තම එකඟතාව පළ කළේය.
මෙහිදී නැවත වරක් ඒ පිළිබඳව අදහස් දක්වමින් ජනපතිවරයා පැවැසුවේ මෙවැන්නකි. “නීතිපති දෙපාර්තමේන්තුවයි, ‍පොලීසියයි මට නොවෙයි අයිති. ඒ දෙක මට මාස තුනකට දුන්නොත්, මම කරල පෙන්වන්නම්.”

මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මේ පිළිබඳව අදහස් දැක්වීමට එක්විය. එහිදී ඔහු මතු වී ඇති උණුසුම්කාරී වාතාරණය සමනය කිරීමට උත්සාහ දරනු පෙනෙන්නට විය.
“මේ වසර අවසානය වන වට රටේ සංවර්ධන ක්‍රියාවලිය යහපත් මට්ටමකට පැමිණේවි. එවිට මේ ප්‍රශ්න බොහොමයකට විසඳුම් ලැබේවි”යැයි අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
නමුත් ජනපතිවරයා මේ පිළිතුරෙන් සෑහීමකට පත් වූ බවක් පෙනෙන්නට නොවීය. ඔහු තවදුරටත් තරමක දැඩි ස්වරයෙන් මෙසේ පැවැසීය. “මහින්ද රාජපක්ෂට පැරදිලා ගෙදර යන්න හෙලිකොප්ටරයකුත් දීලා තිබුණා. කව්ද ඒවා දුන්නේ? මෙතන ඩීල් කරන කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ ගැන මම දන්නවා.”
මෙහිදීද ජනපතිවරයා ව්‍යංගව හා වක්‍රව චෝදනා කළේ අගමැතිවරයාට බව දක්නට විය. කෙසේ වෙතත් ඒ පිළිබඳව පිළිතුරු බැඳීමට අගමැතිවරයා හෝ එජාපයේ කිසිවකු ඉදිරිපත් නොවීය.
පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් මෙවරත් පාර්ලිමේන්තුවේදී විවාදයට නොගැනින. මැතිවරණ කොමිසම දිගින් දිගටම ප්‍රකාශ කර සිටින්නේ මෙම පනත සම්මත වන තුරු ඡන්දය පැවැත්විය නොහැකි බවයි. ඒ අනුව, මෙවර පාර්ලිමේන්තු සැසිවාරයේදීද මෙම පනත විවාදයට නොගැනීමත් සමග ඡන්දය තවදුරටත් ප්‍රමාද වීම වැළකිය නොහැකි වනු ඇත. මේ වන විට රජය ඉදිරි අයවැය හරහා රටේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කරන ආකාරය පිළිබඳව නව සැලසුම් සකස් කරමින් සිටී. මෙහිදී රජයේ ප්‍රධානතම උපක්‍රමයක් වන්නේ ආයෝජන දිරිමත් කිරීමයි. විශේෂයෙන්ම, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති කෙරෙහි රජය මේ වන විට විශාල බලා‍පොරොත්තුවක් තබා ඇත. ඒ අනුව ලබන අයවැය හරහාද රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ව්‍යාපෘති දිරිගැන්වෙන යෝජනා ඉදිරිපත් වනු ඇත.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප්‍රකාශ කළ ගැටලු ගැන අවදානය යොමු කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (06) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය හමුවිය.
ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේනම් ඒ පිළිබඳව ගරුතර මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේ ද අදහස් සහ යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බවයි.
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කිසිදු අවසන් ලියවිල්ලක් මෙතෙක් සකස් කර නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයක් අද රට තුළ මතුව තිබුණ ද, රජය එවැන්නක් කෙටුම්පත් කරන්නේනම් එය රටේ අනාගතය සහ ස්ථාවරත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින් සිදුකරන්නක් බව ද සඳහන් කළේය. රටේ දේශපාලන, සමාජ, ආර්ථික හා ආගමික කරුණු රැසක් පිළිබඳව ද මෙම හමුවේදී මහා සංඝරත්නය සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර ඊට අදාළ යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සාකච්ඡාවට සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහා නා හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන මහා නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නා හිමියන් ප‍්‍රමුඛ අනු නා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කර සිටියහ.

මහින්දට නාම යෝජනා නෑ

ඉදිරි මැතිවරණයකදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා හිමි නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන අනාගතයක් නොමැති බවත් ශ්‍රීලනිපයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ අනුරාධපුර - තිරප්පනේ ප්‍රදේශයේදීය.
මහින්ද රාජපක්ෂ මහතා සමග ඇත්තේ හිතවත්කමේ, ගෞරවයේ, සැලකිල්ලේ ප්‍රශ්නයක් නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයා සමග ආණ්ඩුවට පවතින්නේ ඔහු රට පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් ගත් වැරදි ක්‍රියාමාර්ගයක් බවත් කියා සිටියේය.
පක්ෂය ගැන කැක්කුමක් තිබුණානම් මහින්ද රාජපක්ෂ මහතාට දෙවැනි නායකත්වයක් බිහිකිරීමට පක්ෂය තුළ ඉඩලබා දී නොතිබූ බවත් ඔහුගේ පවුලට හා සහෝදරයින්ට හැර පක්ෂයේ දෙවැනි තෙවැනි නායකත්වයක් බිහි කිරීමට කටයුතු නොකල බවත් දුමින්ද දිසානායක අමාත්‍යවරයා චෝදනා කළේය.

ඇමැතිවරු 18ක් ඒකාබද්ධයට

මේ අතර නෙළුම් මාවතේ ඒකාබද්ධ විපක්ෂයේ කාර්යාලයේදී හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කළේ සැප්තැම්බර් මාසයේ මැද වන විට ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් 18 ක් ඒකාබද්ධය හා එක්වන බවයි. ඒ අනුව මේ වන විටත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරු ඒකාබද්ධ විපක්ෂය හා එක්වීමට සිය කැමැත්ත පළ කර ඇති බව ද ඔහු හෙළි කළේය.
මෙහිදී අදහස් දක්වමින් පියල් නිශාන්ත මහතා සඳහන් කළේ වර්තමාන ආණ්ඩුව පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පමණක් නොව අද වෙන විට එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ තරුණ මන්ත්‍රීවරු දැවැන්ත කලකිරීමකින් සිටින බවත් ඉතාම කෙටි කාලයක් තුළ ඒ පිළිබඳ ඔවුන් ද තීරණයක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවත්ය.

ගෝඨා අත්අඩංගුවට ගැනීමට සැරසෙයි

අස්ගිරි - මල්වත් මහ නාහිමිවරුන් බැහැදැකීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොස් තිබිණි. තමාව අත්අඩංගුවට ගන්නා බවට අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.
මම දළඳා හාමුදුරුවෝ වැදගන්න ආවා.ආපු හැම අවස්ථාවේම නායක හාමුදුරුවනුත් බැහැ දකිනවා.මම සාමාන්‍යයෙන් දේශපාලනය හාමුදුරුවොත් එක්ක කතා කරන්නේ නැහැ.නමුත් මට වෙන අසාධාරණය ඒවත් හාමුදුරුවොන්ට කියන්න එපැයි.දැන් ඊයේ මං දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකට අපේ මේ මහින්ද අමරවීර ඇමතිතුමා කියලා තියෙනවා මාව මාසෙකින් අත්අඩංගුවට ගන්නවා කියලා.ඉතින් මේක නෙවෙයිනේ සාධාරණය.මහින්ද අමරවීර ඇමතිතුමා නම් නඩු අහන්නේ,තීන්දු දෙන්නේ,පරීක්ෂණ පවත්වන්නේ එහෙමනම් එතන ස්වාධීනත්වයක් නැහැනේ.සාධාරණයක් නැහැනේ.රාජපක්ෂලා කියන්නේ මේ රට හොරකම් කරපු මිනිස්සු නෙවෙයි.රාජපක්ෂලා කියන්නේ අවසානයේදී මේ රට බේර ගත්ත මිනිස්සු.ජීවිතය පරදුවට තියලා ඒ කාරණය කළා.මං දන්නේ නෑ මහින්ද අමරවීර ඇමතිතුමා මොනවද එහෙම කරලා තියෙන්නේ කියලා.අපි දන්නවා අපේ පළාතේ හිටපු කෙනෙක්නෙ.ඇමතිතුමා හිටපු හැටිත් දන්නවා දැන් ඉන්න හැටිත් දන්නවා.එතකොට ඒගොල්ලන්ගේ හදවතට කතා කළා නම් කියයි කවුද දුෂණය කරලා තියෙන්නේ කියලා.” යැයිද හිටපු ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

ආණ්ඩුවෙන් කිසිම විසඳුමක් නැහැ

ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන සේවා බලකාය විපතට පත්වූ ජනතාව වෙනුවෙන් සහන සලසන සංවිධානයකි. මේ වනවිට ඩෙංගු උවදුරෙන් විශාල පීඩාවකට පත්වී සිටින ජනතාව වෙනුවෙන් කළ හැකි උපකාර සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අවධානය යොමු විය. ”දැන් එන්න එන්නම ඩෙංගු රෝගීන් වැඩිවෙලා. අධිවසංගත තත්වයක් බවට පත්වෙලා තියෙන්නේ. මේකට ආණ්ඩුවෙන් කිසිම විසඳුමක් නැහැ. ආණ්ඩුවේ විසඳුම් වෙලා තියෙන්නේ රෝගීන් රෝහල්වලට බාර නොගෙන ඉන්න එක. රෝගීන් පිළිබඳව වාර්තා කිරීම නතර කරන එක වගේ දේවල්.” බිමල් රත්නායක කීවේය. ආණ්ඩුවේ පරිපාලනය බිඳවැටිලා. 100%ක්ම ආණ්ඩුව අසමත් වෙලා ඉන්නේ. රාජිත සෞඛ්‍ය ඇමතිගේ වැඩ පැත්තකට දාලා සයිටම් මුදලාලි ආරක්ෂා කරන්න වැඩ කරනවා. ඩෙංගු රෝගීන් එන්න එන්න වැඩිවෙනවා. රාජිතට බැරිනම් වෙන කෙනෙක්ට අමාත්‍යංශය බාරදීලා හරි මේ වෙලාවේ කඩිනම් වැඩපිළිවෙළක් හදන්න ඕනෑ” විජිත හේරත් කීවේය. ”ආණ්ඩුවේ නොහැකියාව නිසා ජනතාව ලොකු අනතුරක. ඒ නිසා අපිට පුළුවන් විදියට මැදිහත් වෙන්න ඕනෑ. සංඛ්‍යාලේඛන මොනවා වුණත් මේ වනවිට ඩෙංගු රෝගීන් ගණන ලක්ෂයක් දෙකක් වෙන්නත් පුළුවන්. මොකද සංඛ්‍යා ලේඛන සහ සත්‍ය තත්වය කොහොමත් පරස්පරයි. තමන්ගේ බැරිකම වහගන්න ආණ්ඩුව විවිධ කතා කියනවා. ලෝකයේ අංක එකේ සෞඛ්‍ය සේවාව තියෙන කියුබාව ගැනත් බොරු කියනවා” වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය. ”ජනාධිපතිතුමා රාජිතගේ ලණු කාලා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තියෙනවා කියුබාවේ සෞඛ්‍ය අංක එක කියලා. කියුබාව දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් එක්ක තමයි ඩෙංගු නැති කළේ. ජනාධිපතිතුමා රාජිතගේ සයිටම් ලණුවත් කෑවා.” බිමල් රත්නායක කීවේය. ”ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පාසල් ළමුන්. අපි ඒ නිසා පාසල් ඇතුළු පොදු ස්ථාන තෝරාගෙන ශ‍්‍රමදාන ව්‍යාපාරයක් කරමු. රතු තරුව සහන සේවා බලකාය කැඳවලා මේ වැඬේ කරන්න පුළුවන්” ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේය. ඒ අනුව ජුලි 08 සහ 09 දෙදින පුරා පළමු අදියර ලෙස පාසල් රැුසක් සහ පොදු ස්ථාන රැුසක් පිරිසිදු කිරීම් කටයුතු කිරීමට කටයුතු සංවිධානය කෙරිණි.

ගොවි වන්දි ලැබුණේ හතරෙන් එකයි.. විජිත හේරත් විශේෂ කමිටුවක් ඉල්ලයි

කෘෂිකර්ම අමාත්‍යංශ පාර්ලිමේන්තු කාරක සභාව 06වෙනිදා දිනයේ රැස්විය. මෙහිදී ගොවි වන්දි ලබාදීම පිළිබඳවද අවධානය යොමු විය. මේ වනවිට ආණ්ඩුව ගොවි වන්දි ලෙස රුපියල් හතළිස්දාහසක් ලබාදීමට පොරොන්දු වී තිබුණද ලබාදී ඇත්තේ රුපියල් දසදහසේ වාරිකයක් පමණය. ඇතැම් ප‍්‍රදේශවලදී එම වාරිකයෙන්ද ගොවියන් අතට ලැබී ඇත්තේ රුපියල් අටදහස් පහන්සියයක් පමණය. මේ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත්කර ගොවි වන්දි ලබාදීම කඩිනම් කළ යුතුයැයි විජිත හේරත් කමිටුවේදී යෝජනා කළේය.

මේ අතර ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නගේ ප‍්‍රධානත්වයෙන් මේ වනවිට දිවයින පුරාම ගොවි ප‍්‍රදේශවල ගොවි සංවිධාන ගොඩනගමින් තිබේ. පසුගිය සතියේ වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, ත‍්‍රිකුණාමලය, පොළොන්නතරුව ප‍්‍රදේශවල විශාල රැුස්වීම් ප‍්‍රමාණයක් සංවිධානය කළ අතර ගොවි සංවිධාන ගොඩනැගීම ආරම්භ කර තිබේ. ”අපි ඔබතුමා දැකලා තිබුණේ ටීවී එකෙන් විතරයි. අද මගේ ඇස් දෙකෙන්ම දැකගන්න මම වාසන්වන්ත උනා. මම ආශීර්වාද කරනවා අපි වෙනුවෙන් කරන වැඩවලට” වව්නියාව ප‍්‍රදේශයේ රැුස්වීමක් අවසන්වූ පසුව නාමල් කරුණාරත්න අසලට පැමිණි ගොවි මවක් කියා සිටියේය. ”අපි කාලයක් යුද්දෙන් බැට කෑවා. දැන් අලිගෙන් බැට කනවා. වගා කරන්න වතුර නැතව බැට කනවා. ඔබතුමා තමයි අපිට ඉන්න එකම ගැලවීම. අපිට ඉන්න ගොවි රජා ඔබතුමා තමයි. අපිට තියෙන එකම ආදායම ගොවිතැන. ඒකත් නැතිවුණාම අපි කොහොමද ජීවත් වෙන්නේ මහත්තයෝ” තවත් ගොවියෙක් කියා සිටියේය. මේ අතර වගා වන්දි ලබාදෙන ලෙස ඉල්ලා 12වෙනිදා කුරුණෑගල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ. තවද එළඹෙන 26වෙනිදා ගොවි ජනතාව සමඟ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් තිබේ.

මුතුරාජවෙලට කුණු දාන එක බිස්නස්කාරයින්ගෙයි ඇමතිගෙයි වැඩක්

මුතුරාජවෙල අභය භූමියට කසළ දැමීමට ආණ්ඩුව ගත් තීරණයත් සමඟ අවට ප‍්‍රදේශයේ ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල විය. මේ පිළිබඳව ජනතාවගේ ඉල්ලීම පරිදි විජිත හේරත් මන්ත‍්‍රීවරයාද එම ප‍්‍රදේශය නිරීක්ෂණය කිරීමට ගියේය. ඒ අවස්ථාවට ප‍්‍රදේශයේ පියතුමන්ලා ඇතුළු පූජ්‍ය පක්ෂයද ප‍්‍රදේශවාසීහුද විශාල ප‍්‍රමාණයක් එක්වූහ. ”මන්ත‍්‍රීතුමා කොළඹ කුණු අපිට එපා කියන්න. මීතොටමුල්ලට කරපු වැඬේ මුතුරාජවෙලටත් කරන්න යනවා.” ප‍්‍රදේශවාසියෙක් කීවේය. ”බරවාහන පාරේ යනකොට අපේ ගෙවල් ඉරි තලලා. ඒවට වන්දි දෙන්නේ කවුද? ආණ්ඩුවට කිසිම දේකට හරි උත්තරයක් නැහැ. ආණ්ඩුව කරන හැමදේකින්ම දුක්විඳින්නේ අපි වගේ අසරණ මිනිස්සු.” තවත් කාන්තාවක් විජිත හේරත් සමඟ කීවේය. ”මේක අභයභූමියක්. දැන් ආණ්ඩුව තමයි වැරැුද්ද කරන්නේ. ආණ්ඩුව ජනතාවට කියනවා කසළ වෙන්කරලා දෙන්න කියලා. නමුත් කොළඹ නගර සභාව කිසිදු වෙන්කිරීමක් නැතුව අභය භූමියට කුණු ගෙනත් දානවා. ආණ්ඩුවට තමයි නඩු දාන්න වෙලා තියෙන්නේ. මෙතන තව ජාවාරමක් තියෙනවා. මේ ප‍්‍රදේශයේ ඉඩම් අයිති බිස්නස්කාරයින් කිහිප දෙනෙක් ඉන්නවා. එයාලට ඕන වෙලා තියෙනවා තමන්ගේ ඉඩම් ටික ගොඩ කරගන්න. කුණු ප‍්‍රශ්නය පාවිච්චි කරලා ඇමතිලයි බිස්නස්කාරයෝ ටිකයි එකතුවෙලා ඉඩම් ගොඩකරගන්න මේක පාවිච්චි කරනවා. නමුත් මේක නවත්වන්න ඕනෑ. විශාල පරිසර විනාශයක් වෙනවා. මේක අනිවාර්යෙන්ම නතර කරන්න ඕනෑ.” විජිත හේරත් අවධාරණය කර සිටියේය.

ප‍්‍රාදේශීය හා දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට පක්ෂ සංවිධායකයින්

ප‍්‍රාදේශීය සහ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා මන්ත‍්‍රීවරුන් නොවන අය පත්කිරීම නිසා විවිධ අවස්ථාවල ගැටලූ මතුවී තිබිණි. මේ සම්බන්ධයෙන් ජවිපෙ මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී ප‍්‍රශ්න කළේය. ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු තුන්සිය පනස් ගණනකින් අසූ දෙකකම මේ ආකාරයෙන් මන්ත‍්‍රීවරුන් නොවන පක්ෂවල ආසන සංවිධායකයින් පත්කර තිබේ. ”ඇතැම් කමිටුවලට පක්ෂවල සංවිධායකයින් පත්කරලා. මේක ආයතනික ව්‍යුහයක්. නිලධාරීන් ජනතා නියෝජිතයින් තමයි මේ කමිටු නියෝජනය කළ යුත්තේ. නමුත් පක්ෂ නායකයින් තමන්ගේ හිතවතුන් පත්කරගන්න තැනක බවට පත්කරගෙන.” නලින්ද ජයතිස්ස කියා සිටියේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හර්ෂද සිල්වා පාර්ලිමේන්තුවේදී පිළිතුරු දුන් අතර මේ පිළිබඳව දැඩි කළකිරීමෙන් සිටියේ ආණ්ඩුවේම මන්ත‍්‍රීවරුන්ය. වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ ගැටලූව මතු කිරීමත් සමඟ ආණ්ඩුවේම මන්ත‍්‍රීවරු උදාහරණ ගණනාවක් ඉදිරිපත් කිරීමට පටන් ගත්තෝය.

Rate this item
(0 votes)