April 27, 2024

“පොලීසියේ ලොක්කන්ට කිව්වෙත් මම පොලීසිය කරපු දෙයක් නෑ“ රාජිත - සාගල මත ගැටුමක

සෞඛ්‍ය අමාත්‍යාංශයට පසුගියදා විශ්වවිද්‍යාල සිසුන් කඩා වැදුණු අවස්ථාවේ පොලීසියේ ලොක්කන් පවා දැනුවත් කළේ තමා බවත් එම අවස්ථාවේදී පොලීසිය කරපු දෙයක් නොමැති බවත් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

විශේෂ කාර්ය සාධක බලකාය පමණක් එම අවස්ථාවේ ඉදිරිපත් වී තිබූ තත්ත්වයට මුහුණ දුන් බවත් විනාඩි 15ක් දෙන්නම් යැයි පොලීසියේ නිලධාරියෙකු එම අවස්ථාවේ සරසවි සිසුන්ට ප්‍රකාශ කර ඇති බවත් ලෝකයේ කිසිදු පොලීසියක් කැරලිකාරයින්ට විනාඩි 15ක් නොදෙන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේ පොලීසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳ ජනාධිපතිවරයා ක්‍රියාමාර්ගයක් ගන්නා බවද එම සිද්ධියට සම්බන්ධ සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීම බොහොම හෙමින් සිදු වන බවත් ඇමැතිවරයා ඊයේ(28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මේ අතර ඊයේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී නිතීය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා චෝදනා ක‍ළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සරසවි සිසුන් ප්‍රචන්ඩකාරි ක්‍රියා සදහා පොලඹවන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට සරසවි සිසුන් කඩා වැදීමට එම සිසුන්ට පෙර සූදානමක් නොතිබූ බවත් ඊට පොළඹවා ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එම අවස්ථාවන්හිදී පොලීසිය පුහුණු කර ඇත්තේ අවම බලයක් පාවිච්චි කිරීමට බවත් එහිදී ඇතිවූ තදබදය නිසා හානි සිදු වූ බවත් සාගල රත්නායක ඇමැතිවරයා පැවසී ය.

වසරක් තිස්සේ මෙම වෛද්‍ය පීඨ සිසුන් අධ්‍යාපන කටයුතු සිදු කර නොමැති බවද සයිටම් අර්බුදය සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ සිසුන් තවදුරටත් මෙවැනි ආකාරයෙන් ක්‍රියාකළහොත් ඉදිරියේදී මෙරට වෛද්‍යවරුන්ගේ හිඟයක් නිර්මාණය විය හැකි බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මෙරට රජයේ රෝහල්වල අඩුපාඩු පවතින බවද පෙන්වාදුන් අමාත්‍යවරයා ගැටුමකින් තොරව විසඳුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.

අධිකරණයකින් වරදකරුවෙක් වී ඇත්නම් විශ්වවිද්‍යාල සිසුන් රාජ්‍ය සේවයට බඳවා නොගන්නා බව මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.

Rate this item
(1 Vote)
Last modified on Friday, 30 June 2017 12:36