April 27, 2024

කරළියෙන් එහා: හදිසියේම ශ්‍රීලනිප මූලස්ථානයට ගිය චන්ද්‍රිකා රහස් සාකච්ඡාවක

ජාතිවාදී සහ ආගම්වාදී කි‍්‍රයාකාරකම් ඇතැයි පවසන කතාබහක් නිසා පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහක් ඇතිවිය. ඒ අතරම සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩැ වැදීම, උතුරේ ඇමැති අවුල නිසාද පසුගිය සතිය උණුසුම් වී තිබිණි.


සංහිදියාවට බාධා වන අයුරින් හා ජාතීන් අතර අසමගිය වර්ධනය වන අයුරින් කිසියම් පිරිසක් දේශපාලන අවශ්‍යතා මත කටයුතු කරන බවට රජය කිහිප අවස්ථාවකදීම ප්‍රකාශ කළේය. රජයේ දේශපාලනඥයින්ගේ අදහස වී ඇත්තේ නැවත බලයට ඒමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇති කිරීමේ නිරතව සිටින බවය. නමුත් ඒකාබද්ධය සඳහන් කරන්නේ බලය ආරක්ෂා කිරීමේ අරමුණින් ආණ්ඩුව එවැනි ගැටුම්වලට පහසුකම් සපයා දෙමින් සිටින බවයි.

කබීර් - යාපා ගැටුම සමථයකට

මේ අතර ඇමැති මාරුවෙන් පසු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිය රාජ්‍ය ඇමැති ධුරයේ වැඩ බාර ගැනීම සිදුකෙරුණේ පසුගිය සඳුදාය. ඒ ඇමැති කබීර් - යාපා කාමර අවුල නිමා කරමිනි.


රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දින 28කට පසුව සිය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. එම අවස්ථාවට විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද එක්ව සිටි අතර, අමාත්‍යවරයා වැඩභාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට පැමිණීම විශේෂත්වයක්. වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වූ විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතා අදහස් දක්වමින් සිය රාජ්‍ය අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කළේය. අනතුරුව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කළේ ජාතික ආණ්ඩු සංකල්පයට මුල් තැන දෙමින් සිය අමාත්‍යාංශයේ ඉදිරි වැඩ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

තොණ්ඩමන් ආණ්ඩු තනතුරින් ඉල්ලා අස්වෙයි

නුවරඑළිය දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් තොන්ඩමන් මන්ති‍්‍රවරයා ඉල්ලා අස්විමේ ලිපිය පසුගියදා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත භාර දුන්නේය. හැටන් නගරයේ කැළි කසල බැහැර කිරිමට ඉඩමක් ලබා දිමට එයට අදාල රජයේ නිළධාරින් කටයුතු නොකිරීම හා එකතුවී ඇති කසල බැහැර කිරිමට නිසි පියවරක් නොගැනීම හේතුවෙන් නුවරඑළිය දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සමසභාපති ධුරය දරන ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහලේකම් හා නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අරුමුගන් තොන්ඩමන් මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත යවා තිබිණි. හැටන් නගරයේ කැළි කසල ගැටලූව විසදිමට තමන් දිස්ති‍්‍රක් කමිටු සම සභාපති වශයෙන් අවස්ථා කිහියකදි ගත් තිරණ අදාල නිළධාරින් කි‍්‍රයාත්මක කිරීමට අපොහොසත් විම නිසා තමන් දරන එම නිලයෙන් ඵලක් නොවන බව සදහන් කරමින් මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබිණි.

විග්නේශ්වරන්ගේ සැර බාල වෙයි

දෙමල ජාතික සන්ධානය සහ උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් අතර කාලයක සිට පැවැති විරසකය ඉකුත් සතියේ පුපුරා ගියේය. අළුයට ගිනි මෙන් විටින් විට දුම් දමමින් තිබූ විරසකය ඉස්මතුවීමට ප්‍රධාන හේතුව වූයේ විග්නේෂ්වරන්ගේ හිතුවක්කාරී තීන්දු හා ක්‍රියාදාමයන් නිසා යැයි ඇතැම් දෙමළ දේශපාලන මතධාරීන්ගේ අදහස වී තිබේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාට එරෙහිව විශ්වාසභංගය ඉල්ලා අස් කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා විසින් පසුගිය 19 වනදා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබිණි. යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමන් හා යාපන ප්‍රධාන හින්දු පූජක ශ්‍රී ශ්‍රී සෝමසුන්දරම් පුජකතුමන්ගේ මැදිහත් වීම මත මෙම අර්බුදය විසදුමකට ගෙන ඒමට හැකි වූ බව සම්බන්ධන් මහතා එහිදී සඳහන් කර තිබිණි.


උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ට හා පළාත් ධීවර අමාත්‍ය පී.ඩෙනිශ්වරන් වෙත මසක නිවාඩු කාලයක් ලබා ගන්නා ලෙසට තමන් කළ නියෝගය වෙනස් කරන බවයි. විග්නේෂ්වරන් එහිදි දැනුම් දී ඇත්තේ සම්බන්ධන් මහතා අදාළ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් වගකීම භාරගන්නේ නම් හා අමාත්‍යවරුන් දෙදෙනා වෙත පවත්වන ස්වාධීන පරීක්ෂණය වෙත බලපෑම් නොකරන්නේ නම් අදාළ නියෝගය වෙනස් කරන බවයි. විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මීට පෙර විග්නේශ්වරන් වෙත ලිපියක් මඟින් දැන්වූයේ පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් හා පළාත් ධීවර අමාත්‍ය පී.ඩෙනිශ්වරන් වෙත ලබා දී තිබු නියෝග වෙනස් කරගන්නේ නම් විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් පක්ෂව කටයුතු කළ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නියෝජිතයින්ගේ තීරණය වෙනස් කරන බවයි.

උතුරු පලාත් කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යංශ වල අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වී තිබූ එම අමාත්‍යංශ දෙක උතුරු මහඇමති යටතට පවරා ගනිමින් පසුගිය 21 වනදා සවස උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී උතුරු මහඇමති සී.වී.විග්නේෂ්වරන් දිවුරුම් දෙනු ලැබීය. මේ අනුව එදින සවස 3.30ට අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය වරයා වශයෙන්ද කෘෂිකර්ම ගොවිජන සේවා, සත්ව පලාන, ජලසම්පාදන හා වාරිමාර්ග, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, පරිසර හා සමූපාකාර සංවර්ධන යන අංශයන්හි වැඩබලන අමාත්‍යවරයා වශයෙන් උතුරු ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දීම සිදු විය. එම දිවුරුම් දීමෙන් අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා සඳහන් කළේ “මාහට සති ගණනක් තිස්සේ තිබූ මානසික අසහනය සහ ආතතිය තුරන් වී ගියා. පන්දුවෙන් පන්දුවට විස්තර විචාරය කරන ක‍්‍රිකට් ක‍්‍රීඩාව වගේ කරට කර දෙපැත්තෙන් ඇතිවූ විස්තර තොරතුරු මම කිරා බලමින්, මැන බලමින් බොහොම ඉවසීමෙන් කටයුතු කරලා තමයි සියල්ලම සිදු කෙරුවේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දී ඇති භෞතික ප‍්‍රතිපාදන අනුව තමයි කටයුතු කලේ. මා සියලූම කටයුතු කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව නීත්‍යානුකූලව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි. ඒ වගේම අවශ්‍ය මැදිහත්වීම් බලපෑම් කිසිවක් නොකර ඔවුන්ට මෙම ප‍්‍රශ්නය විසදා ගැනීමට ඉඩ දුන්නා.“
“උතුරු පළාත් සභාවට බලය ඇත්තේ තව සීමිත දින ගණනක් පමණයි. මේ කාලය තුල දුක්විඳින ලක්ෂ ගණනක් ද්‍රවිඩ ජනතාවත් උතුරේ සියලූම ජනතාවටත් වැඩිවැඩියෙන් සංවර්ධන කටයුතු කිරීමට සේවය කරන්නට හැකියාව ලැබේවා කියා මා ප‍්‍රාර්ථනා කරනවා.“ ආණ්ඩුකාරවරයා උතුරේ මහ ඇමැති ඉදිරියේම ප්‍රකාශ කළේය.

යහපාලන රජයේ සුමංගල හිමි ඥානසාර හිමි වෙනුවෙන් පෙරට එයි

සැඟවී සිටින බව කියූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගියදා අධිකරණයට බාර විය. පසුව ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේයත පසුව නැවතත් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් මත නිදහස් කෙරිණි.


කාගේත් අවධානය යොමුවූ කරුණක් වූයේ යහපාලන රජය බලයට පත් කිරීමට සහය දුන් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති ධූරය හොබවන පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීමේ අවස්ථාවට එක්ව සිටීම පිළිබඳවයි. පසුව මාධ්‍යයට අදහස් දක්වමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ මේ සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවත් තරුණ හාමුදුරුවරුන් හැගීමකින් ඥානසාර හාමුදුරුවන්, රට, ජාතිය ආගම වෙනුවෙන් මැදිහත් වූ බවත්ය. “වෙන පැතිවලට මෙම මාතෘකාව අදින්න එපා. අපි නීතිය විශ්වාස කරන අධිකරණයට ආවේ. අපිට යුක්තිය සාධාරණත්වය ඉෂ්ඨ වුණා.“ යැයිද උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.

කෙසේවෙතත් හදිසියේම අද(23) දිනයේ සිය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ සටහනක් තබමින් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කර තිබුණේ දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක තනතුරෙන් හා අනෙකුත් වගකීම්වලින් ඉවත් වූ බවයි. “දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක තනතුරෙන් හා අනෙකුත් වගකීම්වලින් ඉවත් වූ බව කාරුණිකව නිවේදනය කරමි. එකිනෙකට වෙනස් වූ දේශපාලනික හා මතවාදී අදහස් පසෙක ලා ‘දුෂණ විරෝධී සංස්කෘතියක් ගොඩ නැගීම සදහා‘ ගෙවී ගිය වසර දෙකකට වැඩි කලක් අප එක්ව කටයුතු කළෙමු. එයට නන් අයුරින් සහාය වූ, දායක වූ සියලු දෙනාට මාගේ ස්තුතිය පිරිනමමි.“ යැයි එම සටහනේ සඳහන් කර තිබිණි.
දූෂණ විරෝධී පෙරමුණේ සභාපති ලෙස උලපනේ ශ්‍රි සුමංගල හිමියන් කටයුතු කරන අතර එහි ලේකම් ලෙස කීර්ති තෙන්නකෝන් මහතා කටයුතු කරයි. මේ හේතුවෙන් රජයේ ඇතැම් කොටස් අතරද යම් විරසකයක් ඇතිවී තිබෙනු දක්නට ලැබිණි.

හිටිහැටියේම චන්ද්‍රිකා ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයට

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පසුගිය සතියේ හදිසියේම ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයට පැමිණියාය. හිටපු ජනාධිපතිනය පක්ෂ මූලස්ථානයට පැමිණෙන විට පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පක්ෂ මූලස්ථානයේ සිටියේය.


“දුමින්ද කොහොමද වැඩකටයුතු. මොනවද තියෙන්නේ“ ආදී ප්‍රශ්න අසමින් හිටපු ජනපතිනිය මහ ලේකම්වරයා සමග සුහදව කෙටි වේලාවක් සාකච්ඡා කළේය. ඉන් පසුව පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සොයා බැලූ හිටපු ජනපතිනිය යම් යම් උපදෙස් දෙමින් අනතුරුව පක්ෂ මූලස්ථානයෙන් පිටත්ව ගියේය.


හිටපු ජනපතිනිය පිටත්ව ගිය පසුව දුමින්ද දිසානායක මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් කොළඹ ආසිරි රෝහල වෙත පිටත්ව ගියහ. බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා හදිසියේම රෝගී වීම හේතුවෙන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර දුමින්ද දිසානායක ඇතුළු පිරිස එහි ගොස් මහ ඇමැතිවරයාගේ සුවදුක් විමසීය. එහි සිටි පාක්ෂිකයෝ දුමින්ද දිසානායකගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. “ඇමැතිතුමා දැන් බලන්න ජාතිවාදී ප්‍රශ්නය බොහොම දුරදිග යනවා. ඥාණසාර හාමුදුරුවන්ගේ ප්‍රශ්නය අනිත් පැත්තෙන් තියෙනවා. ඔබතුමා හරි මැදිහත්වෙලා මේකට මොනවා හරි කරන්න. නැත්නම් ආණ්ඩුවට විශාල ප්‍රශ්න වැලකට මුහුණදෙන්න වෙනවා. දැනටමත් කල් ගිහින් වැඩියි.“ යැයිද එම පාක්ෂිකයින් පැවසූ විට දුමින්ද දිසානායක ඇමැතිවරයා ඔවුන් සමග එකඟවෙමින් “අපි බලමු මම ඉහලම තැන් සමග සාකච්ඡා කරනවා.“ යැයිද ඔහු කීවේය.

අන්තරේ සෞඛ්‍ය අමාත්‍යාංශ වටලයි - STF නිලධාරීන්ට ජාතික රෝහලෙන් නිසි ප්‍රතිකාර ලබාදී නෑ

පසුගිය බදාදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ සයිටම් විරෝධී පාගමන පොලිසිය දමා තිබූ ආරක්ෂක බැරියර් ඉවත් කර සොඛ්‍ය අමාතංශයේ ගේට්ටුව කඩාගෙන සිසූහූ අමාත්‍යාංශය තුළට කඩා වැදුණේය. අනතුරුව ඔවුන් අමාත්‍යංශ ගොඩනැගිල්ල වටකරමින් හා අමාත්‍යාංශයට පිවිස විරෝධතාවයේ නිරත විය. සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් හතරම ඒ වනවිට උද්ඝෝෂණයට පැමිණි සිසිහූ අත්පත් කරගෙන සිටින අතර පසුව සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ සයිටම් විරෝධී උද්ඝෝෂණය කළ සිසුන් ඉන් ඉවත් කිරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් ජල ප්‍රහාරයක්ද එල්ල කළේය. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන ඒකකයද ඒ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය අසලට කැදවා තිබිණි. අමාත්‍යංශය හා ඒ අවට ප්‍රදේශයේ දේපොළ ආරක්ෂා කරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පොලිස් විශේෂ කාර්ය බළකායට නියෝග කළේය.


ඒ සිද්ධියෙන් පසුව එම උද්ඝෝෂණයේදී තුවාල ලැබූ පොලිස් විශේෂකාර්ය බළකායේ සාමාජිකයන් කොළඹ මහ රෝහලේ සිට පොලිස් රෝහල වෙත පසුගිය 21 වනදා මාරුකර යවා තිබුණේ ජාතික රෝහලේ වෛද්‍යවරු විශේෂකාර්ය බළකායේ සාමාජිකයන්ට නිසි ප්‍රතිකාර ලබා නොදීම හේතුවෙනි. ඒ වනවිට විරෝධතාවට සහභාගිවූ සරසවි සිසුසිසුවියන් 70ක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.


පොලිස් විශේෂකාර්ය බළකායේ සාමාජිකයින්ට නිසි ප්‍රතිකාර ලැබුණේ නැතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට කිසිවක් වාර්තා නොවුණු බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකොට ඇති බවත් ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙම පරීක්ෂණය සිදු කරන කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේපොළවලට හානිවීම් සම්බන්ධවම විශේෂ පරීක්ෂණයක් සිදුකරයි. එම කණ්ඩායම දැනටම හානිවීම් සම්බන්ධයෙන් තක්සේරු වාර්තා ලබාගනිමින් සිටින අතර මීට වගකිව යුතු සියලුදෙනා ලබාගන්නා සාක්ෂි මත නීතිය හමුවට පැමිණීමට කටයුතු කිරීමටද නියමිතය.

ගැටලූ සහගත මුදල් අමාත්‍යංශ වාර්තාව ගැන කෝප් සභාපති කරුණු විමසයි

පසුගියදා පාර්ලිමේන්තුවේදී අනුර දිසානායක මන්ත‍්‍රීවරයා විසින් ප‍්‍රශ්න කිරීමට ලක්වුණු මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාව පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තේය. ”මුදල් අමාත්‍යංශ වාර්තාව ගැන විගණකාධිපතිතුමා විගණන මතයක් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. අපේ පක්ෂය මේ ගැන පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළා. ආණ්ඩුව පැත්තෙන් කියැවුණේ විගණකාධිපතිතුමාගේ අඩුවක් ගැනයි. නමුත් තත්වය පැහැදිලි කර ගන්න අවශ්‍යයි.” හඳුන්නෙත්ති නිලධාරියාගෙන් විමසීය. ”ඔව්, සභාපතිතුමා, වාර්තාවේ කුමන හෝ අඩුවක් තියෙනවානම් විගණන මතයක් ඉදිරිපත් කරන්න බැහැ. වාර්තාව හදලා තියෙන්නේ ශ‍්‍රී ලංකා ජනරජයේ ශේෂ පත‍්‍රය කියලා. නමුත් ඒකට පළාත් සභාවල ගිණුම් ඇතුළත් වෙලා නැහැ. එතන තියෙන්නේ ඒකාබද්ධ අරමුදලේ ගණුදෙනු පමණයි. එතන අඩුවක් තියෙනවා. අනෙක් කාරණය තමයි ලංකාව අරගෙන තියෙන ණය බිලියන 8000ක් වත්කම් ලෙස සඳහන් කරලා තියෙනවා. මේක වැරදි සටහන් තැබීමක්. ඒකාබද්ධ අරමුදලේ අගය වැඩ කරන්න මේ වගේ වැඩ කරලා හරියන්නේ නැහැ. වාර්ෂික වාර්තාවෙන් කරන්න ඕනෑ මුදල් තත්වය පෙන්වන එක. නමුත් මූල්‍ය තත්වය පෙන්වන්න ගිහින් වාර්තාවේ අඩුපාඩු සිදුවෙලා. ඒක තමයි විගණකාධිපතිතුමා මතයක් කියලා නැත්තේ” නිලධාරිය පැහැදිලි කළේය.

‘දුක්ගැනවිලි සභා’ ස්ථාපිත කරයි

පසුගියදා දිස්ත‍්‍රික්ක තිහිපයක ඇති වූ ගංවතුර තත්වයෙන් නිවාස අහිමි වූ දේපළ අහිමිවූවන්ගේ ගැටලූ පිළිබඳව ආණ්ඩුවේ අවධානය අඩුවෙමින් ඇති බව එම ප‍්‍රදේශවල ජනතාව චෝදනා කරමින් සිටී. මේ තත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන කණ්ඩායමේ විශේෂ රැුස්වීමක් පසුගියදා පැවැත්වූයේ මේ පිළිබඳව සාකච්ඡුා කිරීමටය. ”විපතට පත් ජනතාවට වන්දි ලබාදීම ගැන දැන් අර්බුද මතුවෙලා. මුල් අවස්ථාවේදී මේ ගැන ආණ්ඩුවේ අවධානය තිබුණේ මාධ්‍යවල අවධානය දිනා ගන්න. නමුත් දැන් ආණ්ඩුව වන්දි දීම ගැන කිසිම කතාවක් නැතුව යන්නේ. ඒ නිසා මේ ගැන ආණ්ඩුවට බලකරන්න ක‍්‍රමයක් හදාගන්න වෙනවා. මොකද මාතර ප‍්‍රදේශයේ ජනතාවගෙන් නිතරම දුකගැනවිලි එනවා මේ ගැන” හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා කියා සිටියේය. ”ඔව්, කළුතරත් ඒක වෙනසක් නැහැ. අපි ඒ නිසා ජනතාව සම්බන්ධ කරගත්තු සංවිධානයක් හදන්න ඕනෑ. මේ ආණ්ඩුව ජනතාවට සහන දෙන්නේ නැහැ බලපෑමක් නැතුව.” වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය. එම සාකච්ඡුාවට අනුව ගංවතුර ආපදා සහන දිනාගැනීමේ ජනතා එකමුතුවක් ගොඩ නැගීමට රතු තරුව සහන කණ්ඩායම තීරණය කළේය. ඒ මගින් ආණ්ඩුවට බලපෑම් කොට සහන දිනාගැනීමේ සටනක් ආරම්භ කිරීමට තීරණය විය.


මේ අතර ජනතාවගේ තොරතුරු එක්රැස් කිරීම අරමුණු කරගනිමින් ‘දුකගැනවිලි සභා’ ඇති කිරීමට රතු තරුව සහන කණ්ඩායම තීරණය කර තිබේ. ඒ අනුව නීතිඥ කණ්ඩායමක් මගින් ජනතාව ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති ලියකියවිලි ඇතුළු සහන ලබාගැනීමට අවශ්‍ය තොරතුරු එක්රැුස් කොට ඒවා ආණ්ඩුවට ඉදිරිපත් කොට සහන දිනාගැනීම කඩිනම් කිරීමට රතුතරුව සහන කණ්ඩායම කටයුතු සංවිධානය කරමින් සිටියි. මේ අනුව පළමු අදියරේදී මාතර දිස්ත‍්‍රික්කයේ කොටපොල, මොරවක, පිටබැද්දර ඇතුළු ආපදාවට පත් ප‍්‍රදේශවල දුක්ගැනවිලි සභා ඇති කිරීමට හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා කටයුතු කරමින් සිටියි.

ඩොප්ලර් වංචාව ගැන ගිණුම් කාරක සභාවේ විමර්ශනයක්

පසුගියදා ඇතිවූ ගංවතුර තත්වයත් සමඟ ඩොප්ලර් රේඩාර් යන්ත‍්‍රය පිළිබඳව විශාල සාකච්ඡුාවක් මතුවිය. යන්ත‍්‍රය සවි නොකිරීම පිළිබඳව විශාල චෝදනාවක් එල්ල වූ අතර එහිදී විශාල මුදල් වංචාවක් සිදුවී ඇති බවටද හිටපු ඇමතිවරුන්ට චෝදනා එල්ල විය. එම යන්ත‍්‍රය සවි නොකිරීමෙන් අනාවැකි කීමට නොහැකි වීම නිසා රටට ජීවිත විශාල ප‍්‍රමාණයක් අහිමි වූ අතර විශාල මුදලක්ද අහිමිවී තිබේ. මේ සම්බන්ධයෙන් ගිණුම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා යෝජනා කර සිටියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශය රාජ්‍ය ගිණුම්කාරක සභාවට කැඳවන ලෙසය. එම යෝජනාවට අනුව විසිදෙවැනි බ‍්‍රහස්පතින්දා පස්වරුවේදී එම ආයතන පාර්ලිමේන්තුවට කැඳවා තිබිණි.

බිමල්ගෙන් පොලිසියට ඇමතුමක්

නැවතත් රට තුළ ජාතිවාදී කි‍්‍රයාකාරකම් ඉස්මතුවෙන පරිසරයක් ඇතිව තිබේ. මේ පිළිබඳව සියලූ දෙනාගේ අවධානය යොමු වී ඇති අතර සමාජජාල යොදා ගනිමින් අසත්‍ය ප‍්‍රචාරද පතුරමින් තිබේ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කිරීමක් සඳහා තොරතුරු එක්රැුස්කරමින් සිටි බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාට ඇමතුම් ලබාදීමට කටයුතු කළේය. ”ආගමික ස්ථාන කඩලා බිඳලා දැම්මා කියලා, බුදුපිළිම කැඩුවා, ගිනිතිබ්බා කියලා විශාල ප‍්‍රචාරයක් යනවා. ෆේස්බුක්වල විවිධ ප‍්‍රචාර යනවා. මට දැනගන්න පුළුවන්ද ඔබතුමාලට වාර්තාවෙලා තියෙන තොරතුරු මොනවද කියලා.” මන්ත‍්‍රීවරයා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයෙන් විමසා සිටියේය. ”ආගමික ස්ථානවලට පහර දුන්නා කියලා ප‍්‍රචාර යනවා. නමුත් මේ අතර කතෝලික පල්ලි, බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව සඳහනක් නැහැ. කටකතා යනවා. නමුත් මුස්ලිම් පල්ලි කිහිපයකට පහර දුන් බවට පැමිණිලි තියෙනවා. නමුත් බොදුබල සේනා සංවිධානය දිගින් දිගටම චෝදනා කරනවා කූරගලට මුස්ලිම් ආක‍්‍රමණයක් තියෙනවා කියලා.” පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.


මේ අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාද මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබිණි. ”බොදුබල සේනා සංවිධානය මගින් පැමිණිලි 139ක් දාලා තිබුණා සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා ජාතිවාදී ප‍්‍රකාශ පතුරුවනවා කියලා. නමුත් අපි ඒ ගැන කරුණු විමසලා එම 139 දෙනාට ලිඛිතව දැනුම් දුන්නා ඉදිරිපත් වෙලා තිබෙන කරුණු ප‍්‍රමාණවත් නැති නිසා තවදුරටත් කරුණු ඉදිරිපත් කරන්න කියලා. නමුත් තවම ගැන ප‍්‍රතිචාරයක් නැහැ.” මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය. ”නමුත් රට තුළ විශාල කටකතා පැතිරෙනවා. ෆේස්බුක්වල බුදුපිළිම කඩපු බවට සටහන් හුවමාරු වෙනවා. ඒක නිසා පොලිසියට වගකීමක් තිබෙනවා මේ ගැන නිවැරදි තොරතුරු රටට ඉදිරිපත් කරන්න. නැතිනම් මේක වෙනත් ගැටුමක් දක්වා වර්ධනය වෙනවා.” මන්ත‍්‍රීවරයා කියා සිටියේය. ”ඒ අදහස් හොඳයි. අපි පොලිස්පතිතුමාට මේ ගැන කරුණු ඉදිරිපත් කරලා ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නවා.” මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

උමා ඔය ජල කාන්දුව වැඩිවෙයි උමග ඇතුලේ ප‍්‍රවාහනය බෝට්ටුවලින්

මේ වනවිට උමා ඔය ව්‍යාපෘතිය නිසා එම ප‍්‍රදේශය අවදානම් කලාපයක් බවට පත්වී තිබේ. නිවාස 4625ක් ඉරිතලා විනාශ වී ගොස්ය. ඒ අතරට පාසල්, විහාරස්ථානද ඇතුළත් වී තිබේ. ළිං, දියකඳුරු, ඔයවල් ඇතුළු ජල උල්පත් 2300කට අධික ප‍්‍රමාණයක් සිඳී ගොස් තිබේ. මේ අතර උමග තුළ ජල කාන්දුව මීට පෙර වාර්තා වූයේ තත්පරයකට ලීටර් 976 ලෙසය. නමුත් එය පසුගිය 21වෙනිදා වන විට තත්පරයකට ලීටර් 2562ක දක්වා වැඩිවී තිබේ. ”මීට කලින් උමග ඇතුලේ ප‍්‍රවාහන කටයුතු සිදුවුණේ රේල් පාරක ආධාරයෙන්. දැන් මේ ගැන විමර්ශනය කරන්න එන නිලධාරීන් යන්නේ බෝට්ටුවලින්. ඒ විතරක් නෙවෙයි ජල කාන්දුව වළක්වන්න රසායනික ද්‍රව්‍ය කන්ටේනර් පිටින් පොලව යටට දානවා. මේ නිසා සියලූ ජල මූලාශ‍්‍රවලට විෂ රසායන ද්‍රව්‍ය එකතුවීමේ අවදානමක් තිබෙනවා. මේ අමනෝඥ ක‍්‍රියාවල විපාක ලැබෙන්නේ ඉදිරි දරු පරම්පරාවට. මේක මහ ඛේදවාචකයක්” මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් සමන්ත විද්‍යාරත්න කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 June 2017 23:00