April 26, 2024

කරළියෙන් එහා: මංගලට කරූ කේක් කවයි - ආපදා ඇමැතිගේ රතු කට්ට පනී

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හමුවේ රටේ සියලු දෙනා කම්පාවට පත් විය. ගංවතුර හා නායයෑම් වලින් ඇතුවූ ආපදා තත්ත්වය හමුවේ රටට සිදුවූ භෞතික විනාශය තවමත් ගණන් බලා නොමැත. එහෙත් විනාශ වූ ආර්ථික තත්ත්වයන් යළි නගා සිටුවීමට ආණ්ඩුවට විශේෂ අවධානයක් යොමු කරලීමට සිදුවෙයි.

පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ ජනාධිපතිවරයා ජනතාවගේ ජීවන තත්ත්වය යළි නගා සිටුවීමට හා ආර්ථිකය නගාසිටුවීමට තීන්දු තීරණ රැසක්ම ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ එකඟතාවද පළ කෙරිණි.ගංවතුර හා නායයෑම්වලින් මියගිය සිය පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සහ විවිධ අයුරින් විපතටපත් පුද්ගලයින් වෙත අමාත්‍ය මණ්ඩලය විසින් සිය කනගාටුවත් මෙම අසීරු අවස්ථාවේ ක්‍රියාකාරීව මැදිහත්වූ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සියලුම අංශ වෙත රජයේ කෘතඥතාවය පළ කරන ලද අතර ඒ පිළිබඳව පහත තීරණ වලට එළඹීමට තීරණය කළේය.

ඒ අනුව ගංවතුරෙන් අවතැන්වූවන් වෙනුවෙන් පිසූ ආහාර ලබා දීමට එක් අයෙකු වෙනුවෙන් දිනකට වෙන් කරනු ලබන රුපියල් 225/-ක උපරිම මුදල මෙම ආපදා තත්ත්වය සඳහා රුපියල් 300/- දක්වා වැඩි කිරීම, මෙම වර්ෂය තුළදී අමාත්‍යවරුන්ගේ භාවිතය සඳහා සහ අමාත්‍යාංශවල භාවිතය සඳහා අලුතින් වාහන මිල දී ගැනීම වහාම අත්හිටුවීම, මෙම ආපදාව හේතුවෙන් හානියට පත් වූ නිවාස හා වෙනත් ගොඩනැඟිලි ශ්‍රී ලංකා යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය මඟින් අලුත්වැඩියා කර දීම සඳහා වැඩපිළිවෙළක් යෙදීම, සහන ලබා දීම සඳහා විදේශ රටවලින් ලැබෙන මූල්‍යාධාර මෙම ආපදාවෙන් හානි වූ නිවාස ඉදි කිරීම සඳහා යෙදවීම හා 2017 අයවැය මඟින් සංවර්ධන ව්‍යාපෘති සහ වෙනත් කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන, නැවත ප්‍රමුඛතාගත කිරීම මඟින් යෝජිත ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහාත් ආපදා නිසා හානියට පත් ගොඩනැඟිලි හා අනෙකුත් ප්‍රාග්ධන වත්කම් පුනරුත්ථාපනය සිදු කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් පහත අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම: මංගල සමරවීර මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය; රවි කරුණානායක මහතා - විදේශ කටයුතු අමාත්‍ය; සහ කබිර් හෂිම් මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
මෙම ආපදාව නිසා හානියට පත් නිවාස හා යටිතල පහසුකම් පුනරුත්ථාපනය සඳහා දායක වන පෞද්ගලික අංශයට ලැබෙන බදු සහන පිළිබඳව පෞද්ගලික අංශය දැනුවත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දීමටද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.


නීති රෙගුලාසි හා චක‍්‍රලේඛවලට සීමාවෙන්න එපා

ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත් නිවාස රජය මගින් ඉදිකරදීමේ නිසි වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නංවන බව විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් අද (27) පෙරවරුවේ කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේදී ආයතන නීති රෙගුලාසි හා චක‍්‍රලේඛවලට සීමා නොවී අවස්ථානුකුල පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
ආපදාවට ලක්ව ඇති ප‍්‍රදේශවල ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරමින් සහ අවතැන් වූ පිරිස්වලට අවශ්‍ය ආහාර, පානීය ජලය, වෛද්‍ය ප‍්‍රතිකාර ඇතුළු සියලු පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිතුමා ආපදාවලට ලක්වූ ප‍්‍රදේශවල මැති ඇමතිවරුන්ට එහි ප‍්‍රමුඛ වගකීම හිමිවන බවද කියා සිටියේය.
අයහපත් කාලගුණයෙන් විපතටපත් රත්නපුර දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ සහ එහි ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගිය 26 වනදා පෙරවරුවේ රත්නපුර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය වෙත ගියේය.
තවදුරටත් මුදල් ප‍්‍රතිපාදන අවශ්‍ය වන්නේ නම් වහාම දන්වන ලෙස මෙහිදී දිස්ති‍්‍රක් ලේකම්වරිය වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා විශේෂයෙන්ම බෝට්ටුවලින් ළඟාවිය නොහැකි ජීවිත අවදානම් සහිත ස්ථානවල සිරවී සිටින ජනතාව මුදා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය.

එමෙන්ම හානි වූ නිවාස ඉදිකර දීමේදී ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සහය ලබාගැනීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග නැවත තහවුරු කිරීම වෙනුවෙන් යම් සහනදායි වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද උපදෙස් දුන්නේය.
ශී‍්‍ර ලංකාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට මේ වන විට රටවල් කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බවත්, ඉන්දියාවෙන් මේ වන විට ආධාර නෞකා දෙකක් ශී‍්‍ර ලංකාවට එවා ඇති බවත් සඳහන් කළ ජනාධිපතිතුමා ජාත්‍යන්තරයේ එම සියලුදෙනාගේ සහය ඇතිව, විපතටපත් සියලු ජනතාවගේ ජන ජීවිත නැවත ගොඩනැංවීමට රජයේ සියලු වගකීම් ඉටුකරන බව ද අවධාරණය කළේය.


ආපදා අස්සේ ඇමැති මාරුවක්

මේ අතර හදිසියේම නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 04 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු පසුගිය 31 වනදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
එය නව නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමකටත් වඩා නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂයයන් හුවමරුවක් විය.


මංගලට කරූගෙන් කේක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණි අද (02) දින හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතාගේ උපන්දිනය වීම ද අහඹු සිදුවීමක් විය.
එමෙන්ම කරුණාරත්න පරණවිතාන මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේද අදයි.
එම අවස්ථාවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා කේක් කෑල්ලක් කැවීමටද අමතක නොකලේය.

මේ අතර ආපදාවට පත්නොවූ ප‍්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙන අතර ඔවුන් ඊයේ(01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ආපදාවට පත්වූ ආසනවල ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ ජන ජීවිතය යථාතත්ත්වයට පත්කිරීම පිළිබඳ ගෙනයන වැඩපිළිවෙළේ සියලූ සම්බන්ධීකරණ කටයුතු සොයා බැලීම මෙම නව සංවිධායකවරුන්ට පැවරේ.

ආපදා ඇමැතිගේ රතු කට්ට පනී

මේ අතර පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා දැඩි ස්වරයෙන් කතා කළේය.
ඒ අග්‍රාමාත්‍යවරයා හා ජෝන් අමරතුංග ඇමැතිවරයා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි විශ්වාස නොකරන බවට සිදු කර ඇති ප්‍රකාශය ගැන එහිදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසූයේ “එහෙමනම් මේක වහලා දාන්න ඕන. අපිට ප්‍රශ්න තියෙනවා. තාක්ෂණික ප්‍රශ්ණ තියෙනවා. අනෙකුත් ප්‍රශ්න තියෙනවා ඒත් මේ දෙපාර්තමේන්තුව යම් ආකාරයක නිවැරදි කාලගුණ අනාවැකි පළ කරලා තියෙනවා. කාටවත් නෑ කියන්න බෑ. කවුරු හරි කියනවානම් අගමැතිතුමා හෝ ජෝන් අමරතුංග ඇමැතිතුමා මේක හරි නෑ කියලා මේක වහලා දාන්න ඕන“

රතු තරුව වැඩටබසී... ජවිපෙ මන්ත‍්‍රී අරමුදලින් විපතට පත්වූවන්ට සහන..

පසුගිය 25 හා 26 දෙදින ඇරඹුණු වර්ෂාවත් සමග දිවයිනේ දිස්ත‍්‍රික්ක 8කට බලපෑ ගංවතුර හා නායයෑම් තත්වය හමුවේ ජවිපෙ නායකයෝ රතු තරුව සමඟ සහන සේවා කටයුතුවලට මැදිහත්වීමට තීරණය කළහ. එමෙන්ම පක්ෂයේ මහජන නියෝජිතයින්ගේ වැටුප් අරමුදල්වලින් විපතට පත් ජනතාවට සහන ලබාදීමටද ජවිපෙ තීරණය කළේය. පක්ෂ නායක අනුර දිසානායක, ටිල්වින් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස අතුළු ජවිපෙ නායකයෝ ආපදාවට පත් දිස්ත‍්‍රික්කවලට මැදිහත් වූහ. නලින්ද ජයතිස්ස මන්ත‍්‍රීවරයා කළුතර දිස්ති‍්‍රක්කයේ කටයුතු සොයාබැලූ අතර ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා 26 සහ 28 දෙදින සහන සේවා කටයුතුවලට එක්විය. කළුතර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, මිල්ලනිය, හොරණ, ඉංගිරිය ප‍්‍රදේශවල සහන සේවා කටයුතු දියත් වූ අතර කළුතර, දොඩංගොඩ, බුලත්සිංහල, මතුගම යන ප‍්‍රදේශවල සෞඛ්‍ය කඳවුරු පැවත්වීම විශේෂත්වයක් විය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේම දිස්ත‍්‍රික්කයේ ජනතාව සෞඛ්‍ය සේවා අඩපණවීම නිසා අසරණව තිබීම හමුවේ මෙම මැදිහත්වීම ජනතාවගේ මහත් පැසසුමට ලක්විය.
අවශ්‍ය ඖෂධ හිඟය නිසා නලින්ද ජයතිස්ස තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඖෂධ අවශ්‍යතාව පිළිබඳව සටහන් තැබූ අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් විශාල පිරිසකගෙන් පරිත්‍යාගයන් ලැබිණි. කලාකරුවන් පිරිසක්ද ගුවන්විදුලියේ හඩකැවීම් අංශයේ ශිල්පීන් පිරිසක්ද වහා ප‍්‍රතිචාර දක්වමින් ඖෂධ ලබාදී තිබූ අතර අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට එයින් හැකියාව ලැබිණි. බොහෝ දුෂ්කර ප‍්‍රදේශවලට සහන සේවා සැපයීම අඩාල වී තිබූ අතර ගංවතුරට කොටුවී සිටි සහ විශාල ලෙස හානියට මුහුණ දී තිබූ යටගම්පිටිය ජනතාව පැවසුවේ රතු තරුව සහ හමුදාව නොතිබෙන්නට තමන් දැඩි අසීරුවට ලක්වන බවය. ති‍්‍රවිධ හමුදාවෙන් ලද සහය පිළිබඳවද ඔවුන් රතු තරුව සහන කණ්ඩායම් සමඟ ප‍්‍රසංශාවෙන් කතා කළහ.
ඇතැම් ප‍්‍රදේශවලට ස්වේච්ඡා සංවිධාවලින් සහන ලබාදීමේදී ප‍්‍රදේශීය දේශපාලකයින් විසින් තම තමන්ගේ බල ප‍්‍රදේශවලට ඒවා කැඳවා ගැනීමට උත්සාහ ගැනීමද සෙසු ප‍්‍රදේශවලට යැවීමට බාධා පැමිණවීමද සිදුව තිබීම සහනාධාර බෙදාහැරීමට සම්බන්ධ වූ සංවිධානවල විවේචනයට ලක්විය.

ඥාතීන් දසදෙනෙකු අහිමි වූ ජවිපෙ සාමාජිකයෙක් සහන මධ්‍යස්ථානයේ වැඩ...

මාතර දිස්ත‍්‍රික්කයේ විශාල ප‍්‍රදේශයකට ගංවතුරින් දැඩි බලපෑම් එල්ලකර තිබූ අතර ජනජීවිත මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබිණි. මේ ප‍්‍රදේශවල රතු තරුව සහන සේවා සම්බන්ධීකරණය සුනිල් හඳුන්නෙත්තිගේ මැදිහත්වීම යටතේ සිදුවිය. විශේෂයෙන් මාතර තිහගොඩ ප‍්‍රදේශයේ ගම්මාන 30ක ප‍්‍රමාණය දැඩි ගංවතුර හමුවේ දූපත් බවට පත්ව තිබූ අතර එම ප‍්‍රදේශයේ සහන සේවා සැපයීමේට ජවිපෙ නායක අනුර දිසානායකද සුනිල් හඳුන්නෙතත්තිට එක්වීය. ”දේශපාලන පක්ෂයකට නායකයෙක් විදියට ඔබතුමා විතරයි අපිව බලන්න ආවේ. මේ වගේ වෙලාවක ඔබතුමා දකින්න ලැබීමත් සතුටුයි.” ජනතාව සිය ප‍්‍රසාදය පළ කළහ. මාතර මොරවක්කන්ද ප‍්‍රදේශයේ ජවිපෙ සාමාජිකයෙකුගේ පවුලේ දසදෙනෙකු පමණ ගංවතුරින් මියගොස් තිබියදී ඔහු වරල්ල සහන මධ්‍යස්ථානයට සම්බන්ධවී විපතට පත්වූවන් වෙනුවෙන් වැඩකිරීම සියලූදෙනාගේ අවධානයට යොමු විය.

බොහෝ ප‍්‍රදේශවලට සහන සේවා සඳහා ළඟාවීමේ දුෂ්කරතා පැවති අතර නාවික හමුදාව සමග සම්බන්ධීකරණය පවත්වා ගනිමින් බෝට්ටු පහසුකම් ලබා ගන්නා ලදී. මාතර ප‍්‍රදේශයේ බෝට්ටු මගින් ජංගම සෞඛ්‍ය කඳවුරු සංවිධානය කිරීමටද හඳුන්නෙත්ති මැදිහත් වූ අතර එය ප‍්‍රදේශවාසී ජනතාවට මහත් අස්වැසිල්ලක් විය. අනුරාධපුර, කුරුණෑගල, බදුල්ල ආදී දිස්ත‍්‍රික්කවල ජවිපෙ සාමාජිකයෝද රතු තරුව සහන මධ්‍යස්ථානවලට රොක්වී සහන සේවා සඳහා සිය සහයෝගය ලබාදුන්නෝය. ඇතැම් ස්වෙච්ඡා සංවිධානද මාධ්‍ය ආයතනද තමන් එකතු කරගත් සහනාධාර බෙදාදීම සඳහා රතු තරුව සහන කණ්ඩායම්වලට ලබාදීමද විශේෂත්වයක් විය.

නාමල් පාර්ලිමේන්තු යවන්න තිබුණේ - භික්ෂූන් වහන්සේ නමක් අනුසාශනාවේදී කියයි

පොල්පිතිගම, රඹේ ප‍්‍රදේශයේ අනුහතර වියේ මවකගේ අදාහනෝත්සවයක් සඳහා ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්නද සහභාගි විය. පාංශුකූල කටයුතු සඳහා භික්ෂූන්වහන්සේලා පහළොස්නමක් පමණ වැඩම කළ අතර පොල්පිතිගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, හිරියාල හත්පත්තුවේ අධිකරණ සංඝනායක, රජමහවිහාරාධිපති ගනේගොඩ රතනජෝති නාහිමියන් ආගමික කටයුතු මෙහෙයවීය. ප‍්‍රදේශයේ දීර්ඝ කාලයක් වාසයකරමින් විශාල දූදරුවන් පිරිසක් හැදූවැඩූ එම මැණියන්ට අවසන් ගෞරව දැක්වීමට පන්සියයකට ආසන්න පිරිසක් සහභාගිවී සිටියහ. නායක හිමියන් සිය අනුශාසනාව හමාර කොට නාමල් මන්ත‍්‍රීවරයා ගැනද වචන කිහිපයක් ප‍්‍රකාශ කිරීමට කාලය වෙන්කර ගත්හ. ”මළගෙදර අනුශාසනාවක් වුවත් මට විශේෂ දෙයක් කියන්න තියෙනවා. මෙතනට නාමල් කරුණාරත්න මන්ත‍්‍රීතුමා ඇවිත් ඉන්නවා. එතුමා අද ඉන්න ඕන තැන නෙවෙයි ඉන්නේ. එතුමා අද පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්. ගොවි නායකයෙක්. කාටවත් බය නැති කියන්න තියෙන දේ කාගේ වුනත් මූණට කියන කෙනෙක්. එතුමට මමත් ඡන්දේ දුන්නේ නැහැ. ඒත් දැන් මම ඒ ගැන කණගාටු වෙනවා. ඉදිරියේදී එතුමලා ගැන හිතන්න ඕනෑ. අයුක්තිය අසාධාරණය ගැන කතා කරන එකම කණ්ඩායම එතුමලා” නායක හිමියෝ කියා සිටියහ.

අධ්‍යක්ෂකත් මන්ත‍්‍රීට බයෙන්

වයඹ පළාතේ සමුපකාර අධ්‍යක්ෂකවරයා සණස සභාපතිවරු කැඳවා විශේෂ රැස්වීමක් පවත්වා තිබුණේ පසුගියදාය. එම රැස්වීමේදී සභාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබුණේ තමන්ගේ රාජකාරිය හරියට ඉටුකිරීමට වගබලාගන්නා ලෙසයි. ”සමූපකාරවල වැඩ හරි ආකාරයට ඉටුකරන්න ඕනෑ. හොරකම් වංචා කරන්න ලෑස්ති වෙන්න එපා. දන්නවනේ අර ජවිපෙ නාමල් කරුණාරත්න මන්ත‍්‍රීතුමා. එතුමා පළාත් සභාවේ මම ගැනත් කතාකරලා තියෙනවා. එතුමා නිසා අද කෝටි ගාණක වංචාවකට හවුල් වුණු පස්දෙනෙක් හිරේ ඉන්නවා. ඒ නිසා පරිස්සම් වෙන්න” සමුපකාර අධ්‍යක්ෂකවරයා අනතුරු අඟවා තිබේ. මාකඳුරේ සණස බැංකුවේ නිලධාරීන් පිරිසක් ගිණුම් හිමියන් දහස් ගණනකගේ මුදල් වංචා කර ඇති බවට ඔවුන් මන්ත‍්‍රීවරයාට පවසා තිබූ අතර මන්ත‍්‍රීවරයා මේ සම්බන්ධයෙන් පළාත් සභාවේ හෙළිදරව් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට පස්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම රැුස්වීම අවසානයේ එක් සණස සභාපතිවරයෙක් සෙසු අයට කියා සිටියේ, ”බලපල්ලා අධ්‍යක්ෂතුමා ටීබී ගැන කිව්වද? අකිල ගැන කිව්වද? දයාසිරි ගැන කිව්වද? නෑනේ. කිව්වේ ජවිපෙ නාමල් මන්ත‍්‍රීතුමා ගැන. දැන්වත් එක තේරුම් ගනිල්ලා.” යනුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 June 2017 17:12