April 27, 2024

ඇමැති මාරුවෙන් පසු ආණ්ඩුවේ අර්බුදයක්?

ආණ්ඩුව නව කැබිනට් සංශෝධනයත් සමඟ තවත් ගැටලු රැසකට ඉදිරියේදී මුහුණ පෑමට සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‍ෂය කියා සිටියේ සියලු ඉලක්ක අසාර්ථක කරගත් ආණ්ඩුව නව කැබිනට් සංශෝධනයත් සමඟ තවත් ගැටලු රැසකට ඉදිරියේදී මුහුණ දෙන බවත් එමෙන්ම ඒ මඟින් ජනාධිපතිවරයාගේ දුර්වලභාවය මනාව පැහැදිලි වනු ඇති බවත්ය.

මහ පක්‍ෂ එකට එක්ව රටේ ප්‍රශ්න විසඳනවා වෙනුවට යහපාලන ආණ්ඩුව ආරක්‍ෂා කර ගැනීම සඳහා පක්‍ෂ දෙක අතර පැවැති අර්බුද විසඳා ගැනීමට කැබිනට් සංශෝධනය සිදුකර ඇති බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා පැවසූයේ සංහිඳියාව, අන්තර්ජාතික පිළිගැනීම, යුදාධිකරණය වළක්වා ගැනීම, ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට කටයුතු කළ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට මුදල් අමාත්‍යධුරය ලබා දීමත්, ආසියාවේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මාන හිමිකර ගත් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විදේශ අමාත්‍යවරයා ලෙස පත් කළේ අමාත්‍යවරුන් ලෙස ඔවුන් අසාර්ථක නිසා ද යන්න ප්‍රශ්නයක් බවයි.

දැවැන්ත සංවර්ධනයක් රටේ සිදුකළ බවට පවසන ආණ්ඩුව පළාත් සංවර්ධනයට අමාත්‍යවරුන් පත් කිරීම සැබෑ විහිළුවක් බව ද රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා වැනි එක්සත් ජාතික පක්‍ෂයේ තරුණ මන්ත්‍රිවරුන් පිරිසකගේ කැබිනට් අමාත්‍ය ධුර සිහිනය බොඳ වී ඇති බව ද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

ආර්ථිකයට සැබෑ අරුතක් ලබාදෙන කැබිනට් සංශෝධයක් වෙනුවට ජනාධිපති ධුරය ආරක්‍ෂා කර ගැනීම සඳහා කොළය වසා සිදුකළ ගැහිල්ලක් බව ද රංජිත් සොයිසා මහතා වැඩිදුරටත් පැවසී ය.

එජාපයට බලවත් අසාධාරණයක්

මේ අතර එජාපයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (23) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ පසුගියදා සිදු වූ කැබිනට් සශෝධනය එක්සත් ජාතික පක්ෂයටත්, නව රජය බලයට පත් කිරීමට කැපවූ එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ නායකයින්ටත් සිදු වූ බලවත් අසාධාරණයක් බවයි.

අලුතින් පත්කළ අමාත්‍යංශ විෂය පථයන් දෙස බැලීමේ දී මෙය ඉදිරි පළාත් සභා මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට සමත් වූ සංශෝධනයක් බව ද ඔහු පෙන්වා දෙයි.

කඳුරට උරුමය, සබරගමු උරුමය ලෙස නව විෂය පථයන් දෙකක් ඇති කිරීමත්, මහවැලි සංවර්ධන විෂයට අදාළව රාජ්‍ය අමාත්‍යංශක් ඇති කිරීම හා එකී සියලු අමාත්‍යංශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් වෙත පැවැරීම තුළ රටේ සැබෑ අවශ්‍යතා ඉටු කිරීමේ ක්‍රියාවලියක් වෙනුවට බලය වර්ධනය කර ගැනීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

මට පාපකර්මයක් පල දුන්නා - රවීගෙන් දොස්

කැබිනට් සශෝධනයෙන් පසු මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලද වත්මන් විදේශ ඇමති රවි කරුණානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික අගාධයකට වැටී තිබූ රට ඉන් ගොඩගැනීමේ පාපකර්මය තමනට පල දුන් බවත් අවස්ථාවාදීන්ගේ ඊර්ෂ්‍යාවත් හේතුවෙන් ආසියාවේ හොදම මුදල් ඇමති වූ තමන් ලංකාවට එපා වී ඇති බවයි.

‘මං මුදල් අමාතශ්‍යංය බාර ගත්තේ මුළු රටම ආර්ථික අගාධයකට පත්ව තිබු අවස්ථාවක. ඇද වැටි තිබූ අර්ථිකය තරමක් දුරට හරි ගොඩගන්න විශාල වෙහෙසක් ගත්තා. සමහර ජනප‍්‍රිය නොවන තීන්දු ගත්තෙත් රටේ ගමන ගැන හිතලයි. හොදට කරගෙන යන දෙයක් මාරු කරපු එකම රට ලංකාව වෙන්න පුළුවන්. මට හිතෙන්නේ ඒ පාපකර්මය තමයි මට බලපාන්න ඇත්තෙ. අමාරුවෙන් රට හරිමගට ගන්න හදනකොට මෙහෙම වුනේ.“ යැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.
“ලංකාව ඒවා අගය නොකලට ආසියාවේ හොදම බැංකුකරු වුනෙත් මමයි. ලබන අවුරුද්දේ G-24 සභාපතිකම ලැබෙන්නත් තිබුනා. දුෂණය නැති කිරීමේ ප‍්‍රතිවිපාකයත්, සාමුහික වගකීම කියලා හැමදේම බාර ගැනීමත්, අවස්ථාවාදීන්ගේ ඊර්ෂ්‍යාවත් මේකට බලපෑවා“ යැයිද රවී කරුණානායක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

ඒ අනුව පසුගිය 22 වනදා මුදල්, විදේශ කටයුතු වරාය සහ ජනමාධ්‍ය ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍ය ධුරවල වෙනස්කම් සිදුකරමින් සම්මුතිවාදී ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය ගැටලු රැසකට මුහුණ පා ඇත.
විශේෂයෙන්ම එජාප ඇමැතිවරුන්ගෙන් නව කැබිනට් සංශෝධනයට දැඩි විරෝධයක් පෙර සිටම පළ කර තිබිණි.

මේ අතර ඉදිරියේ දී සිදු කිරීමට නියමිත යැයි පැවසෙන නියෝජ්‍ය අමාත්‍ය ධූරවල සහ රාජ්‍ය අමාත්‍ය ධූරවල ද වෙනසටද ආණ්ඩුවේ එජාප පාර්ශවයෙන් විරෝධයක් මතුවීමට බොහෝදුරට ඉඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
නව කැබිනට් සංශෝධනයෙන් පසුව කැබිනට් අමාත්‍ය ධූර හා රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යධූර එකම දිස්ත්‍රික්කයකට හිමිවීම හා ඇතැම් කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර පවතින අමනාපකම් ආදී හේතූන් මත මෙම සංශෝධනය සිදුවිය හැකි බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු විදේශ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කිරීමත්, මුදල් අමාත්‍ය ධූරය දරන මංගල සමරවීර මහතා සහ මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කිරීමත් ආදී කරුණු හා වෙනත් කරුණ පදනම් කරගනිමින් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වෙනසක් සිදුවන බව වාර්තා වේ.

Rate this item
(3 votes)
Last modified on Thursday, 25 May 2017 12:53