April 26, 2024

කරළියෙන් එහා: රජයේ මුල් පුටු කිහිපයක වෙනසක්- මැතිවරණ පොරොන්දු ගැන මෛත්‍රීට සිහිවෙයි

කැබිනට් මණ්ඩල සංශෝධනය අතලග එන බවට පැතිර ආරංචියත් සමග පසුගිය සතියේ කරළියෙන් එහා දේශපාලනය උණුසුම් වී තිබිණි. රුසියාවේ නිල සංචාරයක් නිමවා පසුගිය දා ශී‍්‍ර ලංකාවට පැමිණි ජනපති මෛතී‍්‍රපාල සිරිසේන හමුවේ ඇති ප‍්‍රධාන කාර්යයක් වන්නේ කැබිනට් මණ්ඩලයේ තනතුරු වෙනසක් සිදු කිරීමය.

මොස්කව් බලා යාමට ප‍්‍රථමයෙන් ඔහු මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දීම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා සාකච්ඡා කර තිබිණ. එම සාකච්ඡා පදනම් වූයේ එක්සත් ජාතික පක්ෂයට කැබිනට් මණ්ඩලයේ හිමිව තිබෙන අමාත්‍යධුර මතය. එම අමාත්‍යධුර දරන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ කි‍්‍රයාකාරීත්වය මෙම සාකච්ඡාවලදී අවධානයට ගැනිණි. කෙසේවුවත් එක්සත් ජාතික පක්ෂයට ලබා දී ඇති අමාත්‍යධුර ඉවත් නොකරන බවත්, අවධානයට ගත යුතු අමාත්‍යවරුන් සිටී නම් ඔවුන් සම්බන්ධයෙන් තමා දැනුම්වත් කරන ලෙසත්, ජනපතිවරයා අගමැතිවරයාට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.

කැබිනට් මණ්ඩලයට සිදුකිරීමට යෝජිත වෙනස්කම්වලට අමතරව සන්ධානයේ මැතිවරණ පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමට ද ජනපතිවරයාගේ අවධානය යොමුව ඇත. ඒ අතරින් ප‍්‍රධානම වනුයේ බරපතළ ගණයේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන විවිධ විමර්ශන කටයුතුය. දැනටමත් ඇතැම් විමර්ශන ආයතන එවැනි විමර්ශන කටයුතු අරබයා තම කි‍්‍රයාකාරීත්වය වඩාත් කඩිනම් කර ඇති අතර, විමර්ශනයන් අතරතුර දී සිදුවන විවිධ අනාවරණ මාධ්‍ය ඔස්සේ පමණක් නොව සමාජ මාධ්‍ය ඔස්සේ ද ප‍්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇත. මෙහි අරමුණ වන්නේ විමර්ශන කටයුතු ආරම්භ කර වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත්, තවමත් එම කටයුතු කි‍්‍රයාකාරීව සිදුවන බව ජනතාවට දැනගැනීමට සැලැස්වීමය. මෙම කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරියේ දී සංස්ථා සහ මණ්ඩලවල මුල් පුටු කිහිපයක් වෙනස් වීමට නියමිත බව දැනගන්නට ඇත. නව පෙනුමක් ලැබෙන කැබිනෙට්ටුවට රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩි වගකීමක් පැවරෙනු ඇති අතර, විශේෂයෙන් ණය බර ක‍්‍රමයෙන් ඉහළ යමින් තිබෙන වත්මන් තත්ත්වය හමුවේ එයට මුහුණ දීම සදහා රටේ විදේශ සංචිත ප‍්‍රමාණයට ඉහළ දමා ගැනීම ප‍්‍රමුඛතාවක් බවට පත්ව තිබේ.  

කියන්නත් ලැජ්ජයි. මම හොඳ යූඑන්පීකාරයෙක්

පසුගිය විසිහයවෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මුල්ලිකුලම්, කීරිසුඞ්ඩාන් සහ මඩු ප‍්‍රදේශයේ දේශපාලන කටයුත්තක් සඳහා ගොස් සිටියේය. මේ අතරතුර එම ප‍්‍රදේශවල ජීවත්වන දෙමළ සහ සිංහල ජනතාවගේ දෛනිත ගැටලූ පිළිබඳව මෙන්ම ඔවුන්ට මුහුණදීමට සිදුව ඇති බරපතළ ගැටලූවක් වී ඇති ඉඩම් පිළිබඳ ප‍්‍රශ්නයද විශේෂ අවධානයකට යොමු විය. මුල්ලිකුලම් සහ කීරිසුඩ්ඩාන් ගම්මානවල ජීවත් වන දෙමළ වැසියන් මෙන්ම මඩු ප‍්‍රදේශයේ ජීවත් වන සිංහල ජනතාවද මෙම ඉඩම් ප‍්‍රශ්නයෙන් බරපතළ ලෙස පීඩා විදී. වසර 50ක් පමණ ජීවත් වූ ජනතාවගේ ඉඩම් පවා ඔවුන්ට අහිමි කරන තත්වයක් උදා වී ඇති බව විජිත හේරත් මන්ත‍්‍රීවරයාට එම ප‍්‍රදේශවල ජනතාව සමඟ ඇති වූ කතාබහහේදී වැටහිණි. ”මන්ත‍්‍රීතුමා අපි ස්ථිර රැකියාවක් නැහැ. ගොඩක් අය ජීවිතේ ගැටගහ ගන්නේ ගොවිතැන්වලින්. ඒත් අපිට අපේ ඉඩම් නැතිවෙන්න යන්නේ. අපිට ඉඩම්වලට ඔප්පු නැහැ. ලියවිලි කිසිම දෙයක් නැහැ. යුද්ධයෙන් බැටකාපු අපි අද ඉඩමක් නැතිව බැටකනවා.” එම ප‍්‍රදේශයේ හැමදෙනාගේම පාහේ දුක්ගැනවිල්ල එය විය. මෙහිදී මන්ත‍්‍රීවරයා ජනතාවගේ ගැටලූව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළ අතර මෙම ගැටලූව බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමට පොරොන්දු විය. 

මේ අතර මන්ත‍්‍රීවරයා එම ප‍්‍රදේශයට ආ බව දැනගත් ව්‍යාපාරිකයෙක් විජිත හේරත් මන්ත‍්‍රීවරයා හමුවී කතාබහ කිරීමේ අරමුණින් ඔහු සිටින ප‍්‍රදේශයට සොයා ආවේය. මන්ත‍්‍රීවරයා සිනාමුසු මුහුණෙන් පිළිගත් ඔහු පළමුවෙන්ම කියා සිටියේ අපූරු දෙයකි. ”කියන්න ලැජ්ජයි මන්ත‍්‍රීතුමා මම හොඳ යූඑන්පීකාරයෙක්” ව්‍යාපාරිකයා කියා සිටියේය. ”ඇයි එහෙම කියන්නේ” විජිත හේරත් විමසීය. ”නෑ මන්ත‍්‍රීතුමා යූඑන්පීකාරයෙක් විදියට අපි මේ ආණ්ඩුව ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. දැන්නම් අපේ ආණ්ඩුවක් කියලා කියන්නත් ලැජ්ජයි මේ අය කරන වැඩ දිහා බැලූවාම.” ඔහු පිළිතුරු දුන්නේය. 

ජවිපෙ නායකයා කුවේටයේ 

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ‘එතෙර අපි’ සංවිධනයෙන් ලද ආරාධනයකට අනුව සමුළුවක් ඇමතීම සඳහා පසුගිය තිස්වෙනිදා අළුයම කුවේටය බලා පිටත්ව ගියේය. ‘එතෙර අපි’ සංවිධානය මගින් සංවිධානය කරන සමුළු මාලාවක් මේ දිනවල මැදිපෙරදිග සහ යුරෝපයේ රටවල් ගණනාවකදී පැවැත්වේ. ජවිපෙ නායකයා 31වෙනිදා කුවේට් සිටිහිදී ‘එතෙර අපි’ සමුළුව ඇමතීමට නියමිතය. විදේශගත ශ‍්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ලබාගැනීම, විශ‍්‍රාම වැටුප් අයිතිය දිනාගැනීම, ලංකාවට පැමිණෙන පාසල් යන වයසේ දරුවන්ට රජයේ පාසලක් ලබාගැනීම, පුද්ගලිකව පරිහරණය කරන ලද වාහන තීරු බදු රහිතව ලංකාවට රැගෙන ඒම, අවම වැටුප් පිළිබඳව රාජ්‍ය තාන්ත‍්‍රික මැදිහත්වීමක් ලබාගැනීම ඇතුළු අයිතීන් දිනාගැනීම වෙනුවෙන් මෙම සමුළු මාලාව දියත් කොට තිබේ. 

මේ අතර අපේ‍්‍රල් 16 සිට 25 දක්වා ප‍්‍රංශයේ සහ ඉතාලියේ පැවැත්වෙන සමුළු කිහිපයක් සඳහා සහභාගි වීමට ජවිපෙ නායක අනුර දිසානායක සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස අපේ‍්‍රල් මස මැදදී විදේශගතවීමට නියමිතය. 

ජෝන් ද සිල්වා රඟහලත් සමාගමකට?

ජෝන්ද සිල්වා සමහරු රඟහල මහින්ද රාජපක්ෂ පාලනය සමයේ කඩා ඉවත් කළේ නැවත ගොඩනැගීමේ පදනම මතය. ඒ මොහොතේදීද එය කඩා ඉවත් කර දැමීමට එරෙහිව කලාකරුවෝ විශාල පිරිසක් එවකට ආණ්ඩුවට විරෝධය පළකළෝය. කෙසේ වෙතත් කඩා ඉවත් කිරීමෙන් පසුව නැවත ගොඩනැංවීම ආරම්භ කළ රඟහලේ පළමු අදියරේ කටයුතු අවසන් කිරීමටත් නොහැකිව ඇත්තේ මුදල් අර්බුදය මතය. කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුවෙන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කොට ඇත්තේ දෙවන අදියරේ ඉදිකිරීම් සඳහා මෙයට උනන්දුවක් දක්වන පාර්ශවවලින් යෝජනා ලබාගැනීමටය. මෙම යෝජනා මගින් බොහෝ දුරට ඉඩ ඇත්තේ මෙය විකුණා දැමීමේ අරමුණක් බව කලාකරුවන්ට ඒත්තු ගැන්වී තිබේ. මේ නිසාම මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කලාකරුවන් පිරිසක් තීරණය කළ අතර ඔවුහු මේ අවනඩුව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායකට සැල කර සිටියෝය. ”ජෝන් ද සිල්වා සමරු රඟහල නාට්‍යකරුවන් වෙනුවෙන් රැකගැනීම අප සතු වගකීමක්. මේ රඟහල නැවත කලාකරුවන් අතට පත් නොකරන්නේ ආණ්ඩුවට මුදල් නොමැති නිසාවත් ප‍්‍රතිපාදන නොමැති නිසාවත් නොවේ. විශේෂයෙන් නාට්‍යකරුවන් කලාවෙන් ඈත්කර තබන්නට ආණ්ඩුවට ඇති වුවමනාවේ ප‍්‍රතිඵලයක් ලෙසයි.” එක් කලාකරුවෙක් කියා සිටියේය. 

”අපි පහුගිය කාලයේ මේ පිළිබඳවත් කලා ක්ෂේත‍්‍රයේ අනෙකුත් අර්බුදයන් පිළිබඳවත් දිගින් දිගටම අදහස් දැක්වූවා. අවස්ථා කිහිපයකදී වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කලාකරුවන් හමුවූ විටදීත්  ජෝන් ද සිල්වා සමරු රඟහල නාට්‍යකරුවන් වෙනුවෙන් ඉක්මනින් ඉදිකර දෙන්න කියලා ඉල්ලීම් කළා. ඔහු අපට පොරොන්දු වුණා ඉතා ඉක්මනින් ඒ පිළිබඳව සොයා බලා නිසි පිළියම් යොදන බව. ඒත් දැන් කරන්න යන්නේ ඒක විකුණලා දාන්න” වේදිකා නාට්‍ය ශිල්පිනියක් පෙන්වා දුන්නේය. මෙම අනතුර සම්බන්ධයෙන් රට දැනුවත් කිරීමේ අරමුණෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය වූයේ ඉන් අනතුරුවය. එය ජවිපෙ සමාජවාදී කලා සංගමයේ මැදිහත්වීමෙන් සිදුකිරීමට තීරණය වූ අතර ඒ සඳහා චන්ද්‍රසෝම බිංදුහේවා, වසන්ත විට්ටච්චි, දීපානි සිල්වා, ලලිත් රාජපක්ෂ, පේ‍්‍රමරත්න තෙන්නකෝන්, ඇතුළු කලාකරුවෝ පිරිසක් එක්ව සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 April 2017 15:30