May 16, 2024

කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා යෝජනා 

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් වී ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතට කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා 03 ක් ඉදිරිපත් වී ඇත.  

ව්‍යවස්ථා කෙටුම්පත් කමිටු සාමාජිකයින් කාන්තා සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන, බලපෑම් කණ්ඩායම් හා දේශපාලන සංවිධාන සමග සිදු කළ සාකච්ඡා ගණනාවකින් පසුව මෙම මූලික යෝජනා ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව නියෝජිත භාවය අනුව ලෝකයේ අඩුව කාන්තා නියෝජනයක් සහිත රාජ්‍යයන් අතරට  ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇත.  

මනාප ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට තේරීපත්වීම සඳහා අති විශාල ධනස්කන්දයක් අවශ්‍යවීමත්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් කාන්තාවන්ට නාම යෝජනා ලබාදීමට දේශපාලන පක්ෂ මැලිකමක් දක්වයි. කාන්තාවන් මැතිවරණ ක්‍රියාවලියට එක්වීමට දක්වන උනන්දුව පහත වැටී ඇත්තේ ද විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කිරීමට සිදුවීම, ප්‍රචණ්ඩත්වය වැනි කරුණු නිසාම ය.  

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා පහත දැක් වේ.

1) යම් පිළිගත් දේශපාලන පක්ෂයක් මැතිවරණ දිස්ත්‍රික් 03 කට වඩා හා 07 කට අඩුවෙන් තරග කරන්නේ නම් එම පක්ෂය ඡන්ද ප්‍රදේශය නියෝජනය කිරීම සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයින් අතුරින් 05% කට නොඅඩු සංඛ්‍යාවක් කාන්තාවන් ඉදිරිපත් කළ යුතු ය.  

මැතිවරණ බල ප්‍රදේශය 07 කට වැඩියෙන් තරග කරන්නේ නම් එම පක්ෂ තම අපේක්ෂක ලැයිස්තුවෙන් 10% කට නොඅඩු සංඛ්‍යාවක් කාන්තාවන් ඉදිරිපත් කළ යුතු ය.

2) සෑම පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් තමන්ගේ දිස්ත්‍රික් ලැයිස්තුව යටතේ ඉදිරිපත් කරනු අපේක්ෂකයින්ගෙන් 1/3 කාන්තාවන් විය යුතු ය.

3) යම් දේශපාලන පක්ෂයක් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයින් ගෙන් 1/3 ක් කාන්තාවන් විය යුතු ය.  ජාතික ලැයිස්තුවෙන් පත් කරනු ලබන සෑම දෙවන මන්ත්‍රීවරයා කාන්තාවක් විය යුතු ය.

සමානුපාතික නියෝජන ක්‍රමයක සිට කේවල හා මිශ්‍ර ඡන්ද ක්‍රමයකට හුවමාරුවීම තුළින් කාන්තාවන්ට නැවත වරක් කේවල ඡන්ද කොට්ඨාශ මට්ටමින් තරග කිරීම සඳහා වැඩි අවස්ථාවක් හිමිවනු ඇත. එසේ ම දිස්ත්‍රික්ක ලැයිස්තු සහ ජාතික ලැයිස්තු තුළින් කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා ප්‍රමාණවත් ප්‍රතිපාදනයක් සැපයීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල අවධානය යොමු විය යුතු යැයි කැෆේ සංවිධානය දැඩි ව විශ්වාස කරයි.

Rate this item
(0 votes)