May 16, 2024

'ෂටප් ඇන්ඩ් සිට්ඩවුන්' - 'යහපාලන' ආණ්ඩුව දේසේ හැටියට වාසේ 

පිළිතුරක් බලාගෙන ප්‍රශ්නයක් අසමු. ප්‍රශ්නය අසන්නේ කථානායක චමල් රාජපක්ෂ ගෙනි. ඒ මන්ත්‍රී වරප්‍රසාද, නීති සහ රීති හුටපට අප එතරම් නොදන්නා නිසාය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුව රැස්වීමේදී අමු අසභ්‍ය වචනයෙන් ආතතියට පත්වී හෝ බැන වැදුනහොත් මුලසුනට කල හැක්කේ කුමක්ද? තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තවත් මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවේදී ෂටප් ඇන්ඩ් සිට්ඩවුන් කිවහොත් මුලසුන ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද?

ෂුවර් එකටම කථානායක චමල් රාජපක්ෂගේ පිළිතුර වනු ඇත්තේ ප්‍රශ්නය පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරමු කියා කීමය. නැතිනම් ඩිව් ගුණසේකර වැනි පැරණි වමේ මන්ත්‍රීවරයෙකුගේ සභාපතිත්වයෙන් කාරක සභාවක් පත් කිරීමට කටයුතු කරන බවය. එසේත් නොමැතිනම් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත බිල්ලටදී බළලුන් ලවා කොස් ඇට බෑමය. මේ උත්තර අප නොදන්නවාට ඇතැම් විට ජනතාව නම් දන්නවා ඇත. ඒ කිරි කොකෙකු මෙන් සුදෝ සුදු උත්තර කථානායක ළඟ රෙඩිමේඩ් පිට ඇති බැවිනි. මෙවැනි ප්‍රශ්න අසන්නේ කථානායකට කේන්ති නොයන නිසාය.

සමගි පෙරමුණ රජයේ එවකට කථානායකව සිටි ස්ටැන්ලි තිලකරත්න නුගේගොඩ තෙමහල් වෙළෙඳ සංකීර්ණය විවෘත කළේ 1977 මාර්තු 04 වැනිදාය. විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී කියා සිටියේ කථානායක වන තමා ලංකාවේ තෙවන පුරවැසියා වන බවය. පැමිණි සිටි කොල්ලෝ කථානායක ස්ටැන්ලිට හූ පූජා තුනකින් සංග්‍රහ කළහ. කථානායක චමල් රාජපක්ෂනම් ගිරුවාපත්තුවේ මිනිසෙකු බැවින් ආනම හොදි නොමැතිව වුවද කුරහන් තලප ගිලීමට දක්ෂයෙක් බව පක්ෂ විපක්ෂ සැවොම පිළිගනිති. ගිරුවාවේ නොවන මිනිසෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාලනය යටතේ කථානායක තනතුර දැරුවේනම් කුරහන් තලප චුයින්ගම් මෙන් විකලා කන්නට ගොස් මේ වන විටත් දත්වල සහ උගුරේ තලප ඇලී වතුර බාල්දියක් පමණ බොන්නට සිදුවී වැඩේ අංජබජල් වී රට කරවන 'යහපාලන' ඇත්තන්ට උත්තරද නැතිවනු ඇත.

පාර්ලිමේන්තුවේ මෙන්ම ලාංකීය සමාජයේද වර්තමානයේ ගොඩනැගෙමින් පැවතේන්නේ වෛරීය දේශපාලනයකි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වූ නජිත් ඉන්දික මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට කරන අරගලය නිසාවෙන් පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙකු වන ඔහුගේ සොහොයුරාද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් වලට ඊයේ ලක්විය. ආරෝපිත අභූත චෝදනා නඟා විරුද්ධවාදීන් දඩුකදේ ගැසීමේ ඉමක් කොනක් නැත. ඉතිහාසයේ මෙවැනි ඛේදවාචකයක් කිසි‍දිනෙක සිදුවී නැත. රටතුළ ගොඩනැගී තිබෙන ජනතාවට අහිතකර මෙම අරාජිකත්වය මුළුනුපුටා දැමීම සඳහා කඩිනම් මහා මැතිවරණයක් පැවැත්විය යුතුය.   

හිටපු අගවිනිසුරු සරත් ද සිල්වා ඉකුත් අඟහරුවාදා විද්වත් වෘත්තිකයින් හමුවේදී පැවසූ පරිදි ශ්‍රී ලංකාවේ දැන් පවතින්නේ සියයට සීයක් නීති විරෝධී පාලනයකි. ගැසට්ටුවකින් හැදූ වංචා දූෂණ විමර්ශන කොට්ඨාශය නීති විරෝධී ආයතනයකි. එම ගැසට්ටුවේ දණ්ඩ නීති සංග්‍රහයේ නැති අපරාධද ඇතිකර තිබේ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි වගන්තිය උල්ලංගනය කරමින් මූලික අයිතිවාසිකම් කැඩීමකි. ජනතාව වෙනුවෙන් මෙම කැලෑ නීති ක්‍රියාත්මක වන බව 'යහපාලන' ආණ්ඩුවේ මතයයි. පී. ජේ. ඔරෝවූක් පවසන පරිදි දේශපාලනඥයින් ජනතාවට ලැදිය. නමුත් එය සත්ගුණවත් බව නිසා නොවේ. එය හරියට මැක්කන් බල්ලන්ට දක්වන ලැදියාව වැනිය. මිනිසාත් තිරිසනාත් අතර වෙනස දැකීමටනම් මැතිවරණයක් කළ යුතුය.

කඩුවෙල මහේස්ත්‍රාත් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ජුනි 10 තෙක් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නට නියෝග කළේය. ඔහු ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අදට දින 37කි. ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට අප්‍රේල් 22වැනිදා 10.50ට ගිය ඔහුට රාත්‍රී 7.30 දක්වා කටඋත්තරයක් ලබාදීමට සිදුවිය. අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත්වරයාට කඩුවෙල අධිකරණයේදී ඉදිරිපත් කළේ රාත්‍රී 9.07ටය. කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල රිමාන්ඩ් ගත කිරීමට නියෝගය දුන්නේ රාත්‍රී 11.35යය. එහෙත් රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙන යෑමට බන්ධනාගාර බස්රිය රාත්‍රි 9.20ට මහේස්ත්‍රාත් නියෝගය ලබාදීමට පැය දෙකකටත් කලින් කඩුවෙල අධිකරණයට පැමිණ තිබිණි. හිටපු අගවිනිසුරු සරත් ද සිල්වා අසන්නේ එහෙම නඩු විභාග කරන්නේ කොහොමදැයි යන්නයි. හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ආණ්ඩුව ගෙන යන්නේ සියයට සීයක්ම නීති විරෝධී පාලනයක් බවය.

හිටපු ඇමතිවරුන් වන බැසිල් සහ‍ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු බොහෝ දෙනා රිමාන්ඩ් බණ්ධනාගාරගත කර සිටින්නේ පොදු දේපල පනත යටතේය. ජොන්ස්ටන් ප්‍රනාන්දුට කුරුණෑගල මහාධිකරණයෙන් ඇප ලබාදුන්නේය. බැසිල් රාජපක්ෂගේ ඇප පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සළකා බැලෙන්නේ ජුලි 4වැනිදාය.

සමෘද්ධි සහ නිවාස ඇමති සජිත් ප්‍රේමදාසද රුපියල් ලක්ෂය බැගින් නිවාස සාදා ගැනිමට දිවි නැගුමේ සාමාජිකයින්වත් නොවන අයට ණය ලබා දෙන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉකුත්දා හෙළි කළේය. මෙය පොදු දේපල මුදල් අපහරණයකි. හම්බන්තොට, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සමෘද්ධියේ සාමාජිකයින්වත් නොවන ආණ්ඩුවේ දේශපාලන හිතවතුන්ට මෙම රුපියල් ලක්ෂයේ ණය ලබා දෙනුයේ කිසිම ඇපයකින් තොරවය. මෙහි වාර්ෂික සහන පොලිය සියයට 3.73කි. ණය ගෙවිය යුත්තේ වසර 10කිනි. දිවයින පුරා මැතිවරණ කොට්ඨාශ 160කට අයත් පවුල් 50,000කට සමෘද්ධි අරමුදලින් රුපියල් දස ලක්ෂ 5,000ක් බෙදාදීමට යෝජිතය. මෙය දිවි නැගුම දෙපාර්තමේන්තුවේ ණය දීමේ ක්‍රමවේදයට පටහැනිය. ඒ පිළිබද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් කර තිබුනද මේ දක්වා කිසිදු ප්‍රතිඵලයක් නොමැත.

හිට්ලර්ගේ ගෙස්ටාපෝ පොලිසියේ ක්‍රියාකාරකම් වැනි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ වැඩ කටයුතු ගැන ආණ්ඩුවේ බොහෝ දෙනා පමණක් නොව සිවිල් සමාජය නියෝජනය කරන බව කියන එන්.ජී.ඕ. නිළධාරින්ද ප්‍රශංසා මුඛයෙන් කථා කරති. බර්නාඩ් ෂෝගේ වචනවලින් පිළිතුරු දෙන්නේනම් "ඔවූහු දොඩවති.  මොනවා දොඩවත්ද? ඔහේ දෙඩවෙච්චාවේ" යන්න පමණි.

ඉකුත්දා ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ‍ජොන් කෙරී එන්.ජී.ඕ නියෝජිතයින් 10 දෙනෙක් හමුවී ලංකාව ප්‍රතිසංවිධානය කිරීමට ගන්නා ප්‍රයත්නයට ඉහළින්ම සුභ පැතීය. ආචාර්ය පාක්කසෝති සරවනමුත්තු, ජෙහාන් පෙරේරා, විශාඛා ධර්මදාස, ජෙසීමා ස්මයිල්, සුදර්ශන ගුණතිලක ඇතුළු එන්.ජී.ඕ. නිළධාරින් සමඟ නිල ඡායාරූපයකටද පෙනී සිටි‍යහ. දී කිරිට බළලුත් සාක්කි කියන්නේ ඕවාටය.

'යහපාලන' ආණ්ඩුව දේසේ හැටියට වාසේ කීවාක් මෙන් එන්.ජී.ඕ නියෝජිතයින් ගණනාවකටම කෘතගුණ සැලකුවේය. අගවිනිසුරු මොහාන් පීරිස් එළියට ඇද දැමූ අලුත්කඩේ කැරැල්ලේ නායකත්වය ගත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලයේ සභාපති විය. සෝභිත හිමිගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය වෙනුවෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා සමඟ අවබෝධ ගිවිසුමට අත්සන් කල ශ්‍රිලාල් ලක්තිලක ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් විය. පළමු පෙරමුණෙන් අව‍බෝධතා ගිවිසුම අත්සන් තැබූ නන්ද මුත්තෙට්ටුවේගම ගුවන්විදුලි සංස්ථාවේ සභාපති විය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ එහි කැඳවුම්කරු සුනිල් ජයසේකර ජනාධිපති මාධ්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂක විය.

ඉකුත් ජනාධිපතිවරණයේදි සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ඡන්ද ලක්ෂ 4කින් පරාජයට පත්විය. ශ්‍රිලනිප සභාපතිකම ඔහුගෙන් ගිලිහී ගියේය. එහෙත් ගම් නියම්ගම් වල ශ්‍රිලනිප පාක්ෂිකයෝ මහින්ද රාජපක්ෂ වටා දැන් රොඳ බැදගෙන සිටින්නේ දහස් ගණනින් නොව ලක්ෂ ගණනිනි. ශ්‍රිලනිප නිල සභාපති  තැල්ල නැතිවූවද ශ්‍රිලනිප සැබෑ නායකයා ලෙස බෙල්ල රැකගෙන අවඥාවෙන් බේරී ජන පවුරක් සේ නැගී සිටින්නට මහින්ද රාජපක්ෂට හැකිවිය. ජනප්‍රියතාවයෙන් හොදටම පිරිහි සිටින 'යහපාලන' ආණ්ඩුව සුළුතර පාර්ලිමේන්තු බලයක් තිබියදී ආණ්ඩු බලය ලබාගෙන සිටිනුයේ ඔවුන්ගේ කූට සහ කෲර උපක්‍රම නිසා නොව ඇමති තනතුරු ඉඹලා පිළිගත් ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුර්වලකම් සහ අසමගිය නිසා බව නොරහසකි.

වර්තමාන රජය මගින් රටවල් 33ක් සඳහා මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන්, අමාත්‍ය උපදේශකයින්, පළමු සහ දෙවන ලේකම්වරුන් ඉකුත්දා පත්කලද ඉන් විදේශ කටයුතු අමාතාංශයේ යටතේ සිටන විදේශ සේවා නිළධාරින් සිටියේ තුනෙන් එකකි. සෙසු සියල්ලෝම එජාපයට හිතවත් විවිධ වෘත්තිකයින්ය. විශ්‍රාම ගිය හමුදා නිළධාරින්ය. උසස් නිලතල පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතියද මේවාට ක්‍රම සහ විධි මගින් ලැබෙනු ඇත. සන්ධාන කලින් ආණ්ඩුවේ දේශපාලන පදනම් මත රාජත්‍රාත්නික පත්වීම් ලැබූ තානාපති සහ මහකොමසාරිස් කාර්යාලවල නිළධාරින් 52කු යළි කැඳවා පත්කර ඇත්තේ මෙවැනි ලැයිස්තුවක්ය.

මෙම රාජත්‍රාන්තික පත්කිරීම් තුළින් පිළිබිඹුවන්නේ අපේක්ෂා අත්හල නොගැඹුරු හැසිරීමෙනි. දැනට අපේ රටේ සිටින විදේශ සේවා නිළධාරින් සංඛයාව 158කි. ඔවුහු විදේශ සේවයේ I,II සහ III ශ්‍රේණිවල පිහිටා සිටිති. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විදේශ සේවය දේශපාලන ගොහොරුවක් බවට පත්කර තිබූ බවට චෝදනා කරමින් කරන ලද පත්වීම් වල ස්වභාවය එසේය. මෙය රෑ වැටුණු වලේ දවල් වැටීමකි. ආරේ ගුණ නෑරේ. 

ශ්‍රී ලංකාව තුළ මේ මොහොත වන විට ඇත්තේ අදහාගත‍ නොහැකි ආකාරයේ දේශපාලන ව්‍යාකූලත්වයකි. එනකොට සහ කියනකොට එ‍හෙමය. යනකොට සහ කරනකොට මෙහෙමය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වකුගඩු රෝගය ඇතිවීමට බලපාන ග්ලයිපොසේට් වල්නාශකය ගෙන්වීම පෞද්ගලික අංශයට තහනම් කළේය. එහෙත් එම තහනමින් සතියකට පසු කෘෂි රසායන සමාගමක් මගින් ආනයනය කරන ලද  ග්ලයිපොසේට් වල්නාශක අඩංගු කන්‍ටේනර් 15ක් නීති විරෝධි ලෙස රටතුලට ගෙන්වීමට අවසර දුන්නේය. එම කන්ටේනර් 15 වල්නාශක ප්‍රමාණය රටේ ‍ගොවි ජනතාවට වසර 10ක් සඳහා භාවිතා කල හැකිය. අර්බුදය පුපුරා ගොස් රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාටද පෞද්ගලික හේතුන් මත කියා ඉල්ලා අස්වීමට සිදුවිය. ආණ්ඩුවේ කථාව දෝලාවෙන්ය. ගමන පයින්ය.  'යහපාලන' බෝඩ් එක ගසාගෙන මේ සිදුකරන්නේ පරණ යූ.එන්.පී. සෙල්ලම්ය.  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බැසිල් මල්ලී සාවද්‍ය චෝදනා ගොනු කොට තවමත් රිමාන්ඩ්ය. ගෝඨාභය මල්ලී රිමාන්ඩ් කිරීමට තැත් කලද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් එය කලෙකට ලොප් විය. භාර්යාව වූ ශිරන්තිද ජුනි 1වැනි සඳුදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ඇත. ප්‍රත්‍රයන් වන නාමල් සහ යෝෂිතද දඬුක‍ඳේ ගැසීමට පිඹුරුපත් සකසා අවසන්ය. මේ නම් 'යහපාලන' වෙස් මුහුණ ගැලවී ඒ වෙනුවට යක්ෂයා ආදේශවීමක් හැර අන් කවරක්ද? සියල්ල සිදුවන්නේ සුළුතර ආණ්ඩුවේ මාස 5 මධුසමය තුළය. මහ මැතිවරණයකින් ආණ්ඩුවේ බහුතර බලය වසර 5කට ලබා ගතහොත් සිදුවන දේ ගැන අනාවැකි කිව හැක්කේ උඩ ඉන්න දෙවියන්ටම පමණි. මහින්ද රාජපක්ෂටද වර්තමානයේ  පුරෝකථනය කල හැක්කේ මැක්සිම් ගෝර්කිගේ අම්මා කෘතියෙහි එන මෙම වදන් පෙලය. "පීඩා කිරීම් මා වෙනුවෙන් පමණක් නම් ඒවා විඳ දරාගැනීමට මම සූදානම්ය. එහෙත් මර්දනකාරීන්ට හිස පහත් කිරීමට සූදානම් නැත."

-ධර්මන් වික්‍රමරත්න-

Rate this item
(0 votes)