May 16, 2024

ලබන සතියේ විමල් අත්අඩංගුවට?  

ලබන සතියේ අහවලා අත්අඩංගුවට ගන්නා බවට යූ.එන්.පී. මඩ වෙබ් අඩවිවල ප‍්‍රවෘත්ති යන බවත් ඒ කියපු විදිහටම අත්අඩංගුවට ගැනීම් ද සිදු වෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (07) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

මේ දවස්වල ‘ලබන සතියේ විමල් වීරවංශ අත්අඩංගුවට’ කියා මේ ජුන්ටාවට හිතවත් වෙබ් අඩවිවල ‘ට්‍රේලර්ස්’ යන බවද මේ ආණ්ඩුව වැඩ පටන්ගත්තේ නීතිය කනපිට හරවීමෙන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

“ජනාධිපතිවරණ කාලයේදී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එල්ල වුණේ ‘එතනෝල් චෝදනා.’ නමුත් දැන් ඒ කිසිම චෝදනාවක් නැහැ. දැන් අලූතින් චෝදනාවක් හොයාගෙන තියෙනවා, මේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් එතුමා සතොසෙන් ණයට බඩු ගත්තා කියලා. එතුමා රුපියල් ලක්‍ෂ 52ක පමණ බඩු සතොසෙන් ණයට ලබාගෙන පසුව ඒ ණය ගෙවා තියෙනවා. එහෙත් සතොසෙන් ණයට බඩු ගත්තා කියා එතුමා අද හිරේ දමා තියෙනවා. මේක පුදුම රටක්නේ. අවතැන් වූ පිරිසකට දෙන්න සතොසෙන් බඩු ණයට ගෙන පසුව ඒ ණය ගෙවූ බවට උසාවියට රිසිට්පත් ඉදිරිපත් කරද්දිත්, ඒ බව සතොසෙන් දන්වා නැහැ කියා එතුමා හිරේ දමා තියෙනවා.“ යැයි හෙතෙම සඳහන් කළේය.

“මේ අනුව ඉතා පැහැදිලියි, ජෝන් කෙරීලාගේ උවමනාවට එරෙහි මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ප‍්‍රමුඛ දේශපාලන පෙරමුණ මැඩලන්න අද ඉතාමත් නින්දිත දඩයම් මෙහෙයුමක් දියත් වන බව. ‘හොරු අල්ලනවෝ හොරු අල්ලනවෝ’ කියමින් සිදු කරන්නේ නීතියට පිටින් මේ බලවේගය මර්දනය කිරීමයි. දැන් යූ.එන්.පී. මඩ වෙබ් අඩවිවල ප‍්‍රවෘත්ති යනවා, ‘ලබන සතියේ අහවලා අත්අඩංගුවට ගන්නවා’ කියලා. ඒ කියපු විදිහටම අත්අඩංගුවට ගැනීම් ද සිදු වෙනවා. මේ දවස්වල ‘ලබන සතියේ විමල් වීරවංශ අත්අඩංගුවට’ කියා මේ ජුන්ටාවට හිතවත් වෙබ් අඩවිවල ‘ට්‍රේලර්ස්’ යනවා. මේ ආණ්ඩුව වැඩ පටන්ගත්තෙම නීතිය කනපිට හරවලා.“

“මේ මර්දනකාරී මෙහෙයුම ක‍්‍රියාත්මක වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නොදැනුවත්ව නොවෙයි. පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී එතුමා පැවසුවා, මූල්‍ය අපරාධ විමර්ශන අංශය පිළිබඳ ගැසට් පත‍්‍රය නිකුත් කර ඇත්තේ තමන් දැනුම්වත්ව නොවෙයි කියා. එයට ජවිපෙ ලාල්කාන්ත සහෝදරයා පිළිතුරු දී තිබුණා, ‘මේ ගැසට් පත‍්‍රය නිකුත් කිරීමේ තීරණය ගනු ලැබුවේ ජනාධිපතිතුමා මෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයාත් හිටපු ජාතික විධායක සභා රැස්වීමකදී’ කියා. ඉතිං මේ ගැන මේ කිසිවකුත් නොදැන සිටින්න බැහැනේ. දැන් බලන්නකෝ අනුර සහෝදරයාත් වික‍්‍රමසිංහ සහෝදරයාත් එක්කුසේ උපන් සහෝදරයන් වෙලා. මේ දඩුකඳ නිර්මාණය කළේ ජාතික විධායක සභාවේ සිටින මෛත‍්‍රීපාල සහෝදරයා, වික‍්‍රමසිංහ සහෝදරයා, චන්ද්‍රිකා සහෝදරිය, අනුර සහෝදරයා, චම්පික සහෝදරයා, සම්බන්ධන් සහෝදරයා ඇතුළු පිරිසයි. මෙහෙම හවුලක් ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ මෙතෙක් නිර්මාණය වී නැහැ.“ යැයි විමල් වීරවංශ මහතා පැවසී ය. 

“මේ මර්දනයේ ඉලක්කය වී ඇත්තේ, මේ රට බේරාගත්තු නායකයන්. ඒ සැබෑ නායකයන් පොඩිපට්ටම් කරලා, මේ රටට වෛර කරන, ඒ කෙරෙහි ආදරණීය හැගීමක් නැති පිරිසක් දිගින් දිගටම බලයේ සිටීමටයි මේ සූදානම් වෙන්නේ. ‘ඒකට ඉඩ තියන්න එපා’ කියලා අපි මේ රටේ සියලූ ප‍්‍රගතිශීලී ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා.“ ඔහු වැඩිදුරටත් පැවසී ය. 

Rate this item
(1 Vote)