May 01, 2024

ආන්දෝලන මැද 19 සංශෝධන සහිතව සම්මතයි - ජනපතිගෙන් දැඩි සටනක් 

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළ වගන්තීන් දෙකකට ඉදිරිපත් කර තිබූ සංශෝධන දෙකක්‌ හේතුවෙන් ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය අතර ඇතිවූ කඹ ඇදිල්ල නිමාවකට පත්කර පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) පෙරවරුවේ සිට පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් ඡන්දය විමසන මොහොත දක්‌වා දැඩි වෙහෙසක්‌ දරනු ලැබීය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළව ආණ්‌ඩු පක්‍ෂය සහ විපක්‍ෂය විසින් සංශෝධන 174 ක්‌ ඉදිරිපත් කර තිබිණි. ආණ්‌ඩු පක්‍ෂයේ සංශෝධන 63 ක්‌ සහ විපක්‍ෂයේ සංශෝධන 111 ක්‌ ඒ අතර තිබිණි.

ඒ අනුව ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා විසින් සංශෝධන 29 ක්‌, රජීව විඡේසිංහ මහතා විසින් සංශෝධන 55 ක්‌, ගීතාංජන ගුණවර්ධන මහතා සංශෝධන 01 ක්‌, දිනේෂ් ගුණවර්ධන මහතා සංශෝධන 01 ක්‌, ශ්‍රියානි විඡේවික්‍රම මහත්මිය සංශෝධන 2 ක්‌, සජින් ද වාස්‌ ගුණවර්ධන මහතා සංශෝධන 7 ක්‌, වාසුදේව නානායක්‌කාර මහතා සංශෝධන 8 ක්‌ සහ ඩග්ලස්‌ දේවානන්ද මහතා සංශෝධන 8 ක්‌ වශයෙන් විපක්‍ෂයෙන් ඉදිරිපත් කර තිබිණි.

ඇමැති මණ්‌ඩලය පත් කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස්‌ විමසමින් ඇමැතිවරුන් පත් කිරීමේ වගන්තිය සහ ව්‍යවස්‌ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව බාහිර පුද්ගලයන් තිදෙනකු පත්කරන ලෙසට දැක්‌වෙන වගන්තිය සංශෝධනය කරමින් විපක්‍ෂය ගෙන ආ සංශෝධන දෙකට ආණ්‌ඩු පක්‍ෂයේ එකඟත්වය ලබාදීම ප්‍රතික්‌ෂේප කර ඇත.

ව්‍යවස්‌ථාදායක සභාවේ සියලුම සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු බවද ඇමැතිවරුන් පත් කිරීමේදී අගමැතිවරයාගෙන් විමසිය යුතුය යන වගන්තිය ඉවත් කළ යුතු බවටද විපක්‍ෂයේ ප්‍රධාන සංශෝධන දෙකට ආණ්‌ඩුව එකඟ නොවන්නේනම් විපක්‍ෂය 19 වැනි සංශෝධනයට ඡන්දය ලබානොදෙන බව විපක්‍ෂය විවාදය පුරා රජයට අනතුරු හැඟවූයේය.

ව්‍යවස්‌ථාදායක සභාව සඳහා ආණ්‌ඩුව විසින් පත්කිරීමට සූදානම් වන බාහිර පුද්ගලයන් තිදෙනා වන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය සහ පාක්‍යසෝති සරවනමුත්තු යන මහත්වරුන් බවද විපක්‍ෂයේ මන්ත්‍රීවරු විවාදයේදී ප්‍රකාශ කළහ.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පාර්ලිමේන්තු රැස්‌වීම ආරම්භ කළ පෙරවරු 9.30 ටත් පෙර සිට ඡන්දය විමසන අවස්‌ථාව දක්‌වා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිය කාර්යාලයේ සිට පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් හමුවෙමින් මෙම ගැටලුව නිරාකරණය කිරීමට උත්සාහ කළේය.

සවස්‌වරුවේද අගමැතිවරයා, විපක්‍ෂ නායකවරයා සමග ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා ආරම්භ කරමින් විපක්‍ෂයේ ප්‍රධාන සංශෝධන දෙකට ආණ්‌ඩුව එකඟ කර ගැනීමට උත්සාහ කරමින් සිටියේය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත මාර්තු 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ විවාදය අවස්‌ථා දෙකකදී කල් තැබීමට සිදුවිය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දිනයක් සනිටුහන් කරමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

එම යෝජනාවට පක්ෂව ඡන්ද  212ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 1ක් පමණි.

එක් අයෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි අතර 10 දෙනෙකු ඡන්දය විමසන ලද අවස්ථාවේ සභා ගැබෙහි ‍නොසිටි බව වාර්තා වේ.

(දිවයින)

Rate this item
(0 votes)