May 10, 2024

'යහපාලන ආණ්ඩුවේ දින 100 ඉවරයි' - ප්‍රගතිය මෙන්න

දින 100හි වැඩසටහන යටතේ වැඩසටහන් 45ක් ක්‍රියාත්මක කර අවසන් කර තිබෙන අතර වැඩසටහන් 51ක් අවසන් අදියරේ පසුවන බව ජනාධිපති උපදේශක තිලක් රණවිරාජා මහතා පවසයි.

එහි වැඩසටහන් 7ක් ක්‍රියාත්මක වෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේය.

සාමාන්‍ය ජනතාවට සහන සැලසීමේ දින 100 යටතේ වූ සියලු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවත් එම සහනය ජනතාවට නොලැබෙන්නේ නම් පාරිභෝගික අධිකාරියට දැන්විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ඖෂධ පනත වැනි පනත් සම්මත කර ගනිමින් ජනතාවට ඉන් ලැබිය යුතු සහන ලබාදී තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

සරසවි මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 දක්වා වැඩි කර තිබෙන අතර දින 100ට ඇතුළත් නොකළ රුපියල් 2000 බැගින් ලබා දුන් ශිෂ්‍යාධාර මුදල රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබෙන බව ද තිලක් රණවිරාජා මහතා පැවසී ය.

රාජ්‍ය සේවකයින්ට සහන සැලසීම, සාමාන්‍ය ජනතාවට සහන සැලසීම, කෘෂි හා වැවිලි ආශ්‍රිත නිෂ්පාදකයින් සඳහා සහන සැලසීම, විදේශ රැකියා නියුක්තිකයන්ගේ ආරක්ෂණය, කාන්තා ළමා සහ තරුණ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ධීවර සහ මත්ස්‍ය, කෘෂි, වාර්මාර්ග හා පාරිසර සංවර්ධනය, ඉඩම් හා නිවාස, ත්‍රිවිධ හමුදා සහ මාධ්‍ය නිදහස, ආගමික සහ සංස්කෘතික කටයුතු යනාදී සෑම ක්ෂේත්‍රයකම දින 100 තුළ වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 April 2015 08:56