May 10, 2024

යහපාලන ආණ්ඩුව ගෙදර යවන සටන ඇරඹුවා - ජානිපෙ

මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ තීන්දුව හකුලා ගන්නා ලෙස ඉල්ලා ඊයේ (21) පාර්ලිමේන්තු වට රවුමෙන් ඇරඹු ජනතා උද්ඝෝෂණය නතර කරන්නේ වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමෙන් අනතුරුව යැයි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති පියසිරි විජේනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුමෙන් ඇරඹි උද්ඝෝෂණයට සහභාගී වූ ජනතාව අමතමිනි. 

එහිදී පියසිරි විජේනායක මහතා මෙලෙස අදහස් පළ කළේය. ‘‘අද පාර්ලිමේන්තුවේ ප‍්‍රගතිශිලී මන්ත‍්‍රීවරු සියලූ දෙනා උද්ඝෝෂණයක නිරතව සිටිනවා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන් අල්ලස් කොමිසමට කැඳවීමේ නියෝගයට එරෙහිව. අපි ඡන්දය දිලා පත් කරපු ඒ මන්ත‍්‍රීවරු පිරිස අපි තනි කරන්නේ නැහැ. අපි අද ආරම්භ කරපු මේ උද්ඝෝෂණය නතර කරන්නේ වංචාකාරී, ප්‍රෝඩාකාරී යහපාලන ආණ්ඩුව ගෙදර යවලයි.“ 

“පොලිසියේ මහත්තුරු කියනවා ‘මෙතැන අධි ආරක්‍ෂිත කලාපයක්’ කියලා. නමුත් යහපාලන ආණ්ඩුවේ පොලීසිය භාර ඇමති ජෝන් අමරතුංග කියා තිබෙනවා ‘දැන් ලංකාවේ අධිආරක්‍ෂිත කලාප නැහැ’ කියලා. අධිකරණයට ගිහිල්ලා තහනම් නියෝග ගෙනවිල්ලා මේ රටේ ජනතාවගේ ඉදිරි ගමන නවත්වන්න ඉඩ දෙන්න බැහැ.“ යැයිද ඔහු සඳහන් කළේය. 

මේ රටට සාමය උදාකර දුන්නු නායකයා අල්ලස් කොමිසම හමුවට ගෙනිහිල්ලා දඩයම් කරන්න හදනවානම් ඊට ඉඩදී නිහඩව ඉන්න අපි කාටත් බැහැ. පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරු 118ක් අත්සන් කරපු ලිපියක් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බාරදී තිබෙනවා, ‘මේ තක්කඩි වැඩේ නතර කරන්න’ කියලා. පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ ප‍්‍රගතිශිලී මන්ත‍්‍රිවරුන්ට. ප‍්‍රගතිශිලී බහුතර මන්ත‍්‍රීවරුන්ගේ බලය කියන්නේ ජාතියේ බලය. ඒ බලය ආපස්සට හරවන්න කාටවත් බැහැ. අපි මේ අත්තනෝමතික තීරණය ඉවත් කරන තෙක් මෙතනින් යන්නේ නැහැ. මේ සටන මේ යහපාලන ආණ්ඩුව ගෙදර යවනතෙක් අපි නතර කරන්නේ නැහැ’’ යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)