May 14, 2024

සන්ධානයේ 36කට නාමයෝජනා නෑ - චන්ද්‍රිකා ලැයිස්තුවක් සකසයි

එළැඹෙන මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු  මැති ඇමැතිවරු 36 දෙනෙකුට වැඩි පිරිසකට නාම යෝජනා නොදෙන ලෙස හිටපු  ජනාධිපතිනී හා ශ්‍රීලනිප අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයට යෝජනා කර ඇතැයි වාර්තා වේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා සන්ධානයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාද දැනුවත් කර තිබේ. 

නාම යෝජනා නොලැබෙන අය සියලු දෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයන් බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනිය හා වත්මන් ජනාධිපති හමු වී සාකච්ඡා කොට තීරණයකට එළැඹීමට නියමිතව ඇති අතර නාම යෝජනා නොදෙන මන්ත්‍රී ලැයිස්තු ඉදිරියේ දී සකසීමට නියමිතය.

මහ මැතිවරණය කැඳවීමට ප්‍රථම ඔවුන්ට චෝදනා පත්‍ර යැවීමට කටයුතු කරන බවත් මෙම පිරිසට අමතරව දූෂණ චෝදනා විභාග වන මන්ත්‍රී පිරිසකටද නාම යෝජනා නොදීමටද හිටපු ජනාධිපතිනිය යෝජනා කර ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දූෂණ චෝදනා එල්ල වූ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට පමණ නාම යෝජනා නොලැබෙනු ඇතැයිද ඒ අනුව ලබන මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයේ හිටපු  මැති ඇමැතිවරු 50 කට වැඩි සංඛ්‍යාවකට නාම යෝජනා නොලැබෙනු ඇතැයි ද පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)