May 13, 2024

ශ්‍රීලනිප මැයි දිනයට 'මහින්ද' නෑ - මහින්ද එන මැයි රැළිය කිරුළපනදී

ශ්‍රීලනිප - එජාප හවුල් ආණ්ඩුව පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගෙන් වෘත්තීය සමිති නායකයන් සහ සාමාජිකයන්ට සිදුකරන පළිගැනීම් සහ පීඩාකාරී තත්ත්වය හමුවේ ශ්‍රීලනිප මැයි රැලියට සහභාගිවීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබේ.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා බැහැදැකීමට එජනිස මන්ත්‍රීවරු පසුගිය 16 වැනිදා තංගල්ල කාල්ටන් නිවසට ගිය අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා එසේ පවසා ඇත.

ශ්‍රීලනිප මැයි දින රැලියට සහභාගිවීම පිළිබඳව මෙහිදී මෙම මන්ත්‍රී කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇති අතර ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය වර්තමානයේ මුහුණදී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එම මැයි රැලියට සහභාගිවීම සම්බන්ධයෙන් තමාට ප්‍රශ්නයක් ඇතැයි හිටපු ජනාධිපතිවරයා පවසා ඇතැයි වාර්තා වේ.

වත්මන් හවුල් ආණ්ඩුව එජනිස වෘත්තීය සමිති නායකයින්ට පහරදීම, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨයන් පස්දෙනකු ඉවත් කිරීම, මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් 132 දෙනකු ඇතුළු ලංගම, දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රමුඛ රජයේ ආයතනවලින් ශ්‍රීලනිප පාක්ෂිකයන් ඉවත් කිරීම යනාදී වශයෙන් දියත් කර තිබෙන මර්දනය හේතුවෙන් ශ්‍රීලනිප මැයි රැලියට සහභාගි වීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ප්‍රමුඛ එජනිස පාක්ෂිකයන්ට හා ශ්‍රීලනිප නායකයින් මර්දනය නොකරන හවුල් ආණ්ඩුවකින් තොර එක්සත් ජනතා නිදහස් සන්ධානයක් නැවත නිර්මාණය වන්නේ නම් ශ්‍රීලනිප මැයි රැලියට සහභාගිවීම පිළිබඳ ගැටලුවක් නැතැයිද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අතර ඒකාබද්ධ වෘත්තීය සමිති බළ මණ්ඩලය විසින් ‘රටට පණ දෙන්න මහින්ද සමඟ වැඩ කරන ජනතා මැයි රැළිය‘ නමින් මැයි රැළියක් මැයි 1 වැනි දා පස්වරු 1.00ට කිරුළපණ පැවැත්වෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නිදහස් පක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන් සහභාගි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි. 

හිටපු ජනාධිපතිවරයාට ද නිදහස් පක්ෂ මැයි රැළියට සහභාගි වන ලෙසට මේ වන විටත් නිළ වශයෙන් ඇරයුම් කර ඇති බව මන්ත්‍රීවරයා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 April 2015 09:43