May 13, 2024

ජවිපෙ 'සමාගමක්' වෙලා - අර්බුදය ගැන නන්දන හෙළි කරයි 

මේවන විට ජනතා විමුක්ති පෙරමු‍ණ සමාගමක් බවට පත් වී ඇති බවත් ඇතැම් නායකයින් කිහිපදෙනෙකු තමන්ට ජීවත්වීමට ක්‍රමෝපායක් ලෙස පක්ෂය පත් කර ගෙන ඇති බවත් එම පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වන නන්දන ගුණතිලක මහතා පවසයි.

ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගනිමින් පක්ෂය ව්‍යාපාරයක් බවට පත් කර ගෙන ඇති බවත් එය කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක් බවත් සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූයේ වසර 10ක් පුරා පවතින අර්බුදයක ප‍්‍රතිඵලයක් හේතුවෙන් බවත් ඔහු පැවසී ය.

2005 වසරේ තමා ඇතුළු කණ්ඩායමක් පක්ෂය හැර යාමට බලපෑවේ ද මෙම අර්බුදයම බවත් වත්මන් නායකත්වයට පවා ඊට විසඳුම් සොයාගත නොහැකි වීම හේතුවෙන් අවසානයේ සෝමවංශ අමරසිංහ මහතාටම පක්ෂයෙන් ඉවත් වීමට සිදුවූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

එම කාලයේදී ආණ්ඩුවේ වගකීම් භාර ගෙන නිවැරදිව වැඩ කර පෙන්වා පක්ෂය ජනප්‍රියත්වයට පත් කිරීමේ හැකියාවක් ඇති බවත් ඒ අනුව පක්ෂයට අර්ධ බලයක් නිර්මාණය නිර්මාණය කිරීමට හැකියාවක් තිබූ බවත් නන්දන ගුණතිලක මහතා පැවසී ය.

ඒ වන විට එම තීරණයට පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සමාජිකයින් 25 දෙනාගෙන් 07 දෙනෙකු කැමැත්ත පළ කළ බවත් ඒ සඳහා සෝමවංශ අමරසිංහ සහෝදරයා විරුද්ධ වුවද පසුව ඊට එකඟ වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

පක්ෂය තුලින් බහුජන ව්‍යාපාරයක් බවට පත්කිරීම සඳහා උපක්‍රම අවශ්‍ය බවට 2005 අභ්‍යන්තර අරගලයේදී ඉදිරිපත් කල අදහස මෙලෙස අර්බුදයක් ලෙස මේවනතෙක් පැමිණි බවත් මේ හේතුවෙන් විමල් වීරවංශ සහෝදරයා ඇතුළු පිරිස හා තවත් අය පසුව පක්ෂයෙන් ඉවත්ව ගිය පසුත් ඉතුරු වූ තවත් කණ්ඩායමත් නැවත මේ සාකච්ඡාව කරගෙන ගොස් ඇති බවට වාර්තා වන බවත් ඔහු සඳහන් කළේය.

කිසිදා ජනතා විමුක්ති පෙරමුණ අතහැර නොයාවි යැයි කවුරුත් විශ්වාස කළ සෝමවංශ අමරසිංහ සහෝදරයාද එය අත්හැර පක්ෂය නියම තැනට ගෙනයාමට බැරි බව තේරුම් ගෙන වෙනත් පක්ෂයක් ගොඩනැගීම ගැන කතා කිරීමට සිදු වී ඇති බවත් නන්දන ගුණතිලක මහතා වැඩිදුරටත් පැවසී ය.

පසුගිය වසර කිහිපය තුළ අවස්ථා ගණනාවකදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ප‍්‍රබල කි‍්‍රයාකාරිකයින් අතර නන්දන ගුණතිලක මහතා පෙරමුණේ පසුවන අයෙකි. පසුව විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක්ද කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු පිරිසක් ද පක්‍ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂ පිහිටුවා ගත්හ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා එම පක්‍ෂයෙන් ඉවත්වීමට ඊයේ (16) දිනයේදී තීරණය කළේය. 

 

Rate this item
(0 votes)