May 12, 2024

මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

මැතිවරණ ප්‍රතිසංස්කරණය සඳහා වූ යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඉතාමත් කෙටි කලකින් වෙනස් කළ හැකි සරල මැතිවරණ ක්‍රමයක් සඳහා යෑමට ශ්‍රීලනිපය දැනට යෝජනා කර ඇති අතර ඒ සඳහා වූ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ගෙන් සැදුම් ලත් කමිටුවක් පසුගියදා පත් කරන ලදී. 

ඒ අනුව එම යෝජනා ඉතාමත් ඉක්මනින් රජය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

රජය වෙත ඉදිරිපත් කරන යෝජනාවලට අනුව ඡන්දදායකයන් ලක්ෂයකට වඩා ඇති හෝමාගම, මැද කොළඹ, මොරටුව කඩුවෙල යන මැතිවරණ කොට්ඨාශවල සීමා යළි නිර්ණය කිරීමටත් ඡන්දදායකයින් 50,000කට අඩු ඡන්ද කොට්ඨාස ඒකාබද්ධ කිරීමටත් තීරණය කර තිබෙන අතර එවැනි කොට්ඨාස පහක් යාපනය දිස්ත්‍රික්කයේ ඇතැයි ද එම යෝජනාවල සඳහන් කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම වර්ග කිලෝමීටර 1000කට අධික භූමි ප්‍රමාණයක් සහිත ඡන්ද කොට්ඨාසවල සීමා නිර්ණය කිරීමට නියමිතව ඇති අතර නැඟෙනහිර, අනුරාධපුර, තිස්සමහාරාමය, අම්පාර ඇතුළු ඡන්ද කොට්ඨාස කීපයක් ද එම වාර්තාව මඟින් හඳුනාගෙන ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

එසේම බහු ආසන සහිත ඡන්ද කොට්ඨාස කීපයක් අලුතින් නිර්මාණය කිරීමට යෝජනා වී ඇති අතර දැනට පවතින සමස්ත ආසන සංඛ්‍යාව 160ක් වන අතර විශාල ලෙස ඉහළ හෝ පහළ නොදමනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 April 2015 15:08