May 13, 2024

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ මන්ත්‍රීවරු ගැන යළි සලකා බැලීමට සැරසෙයි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකුගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණය බොහෝදුරට යළි සලකා බැලීමට නියමිත බව ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාලින්ද දිසානායක, එස්එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටීබී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරුන් පස්දෙනාගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා ඇති බවට ඔවුන්ට පසුගිය 11 වැනිදා ලිපි මගින් දැනුම් දී තිබේ.

එය මීට දින කිහිපයකට පෙර ගනු ලැබූ තීන්දුවක් බවත් එම ලිපි ලැබුණු මන්ත්‍රීවරයකු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය සෙනසුරාදා උදයවරුවේ ජනාධිපතිවරයා හමුවී ඉතා සුහද සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

"ඒ නිසා මම හිතනවා ඔය දැනට ලිපි නිකුත්වෙලා තියෙන මධ්‍යම කාරක සභිකයන් සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් මතයකට එන්න පුළුවන් වේවි කියල ඉස්සරහට," ඔහු පැවසීය.

ඒ සම්බන්ධ අවසාන තීන්දුව ගැනීමේ බලය පවතින්නේ පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපතිවරයාට බවද කෙසේ නමුත් ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමට හේතුව කවරක්ද යන්න සම්බන්ධයෙන් තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසී ය.

(බීබීසී)

Rate this item
(0 votes)
Last modified on Friday, 17 April 2015 13:37