May 09, 2024

‘මෛත්‍රී ජනපති ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතුයි‘ - බොදුබලයෙන් දෝස්මුරයක්

රටේ ආරක්‍ෂාව හා සංවර්ධනය අනතුරට පත්කර ඇති බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහා සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

රට දැවැන්ත අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවත්, ඊට වගකිවයුතු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත්, රෝගය ඇත්තේ ගසේ මුලේ නම් එහි ගෙඩි කඩා හෝ අතු කඩා රෝගයට පිළියම් කළ නොහැකි බවත් උන්වහන්සේ ඊයේ (10) කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

සමස්‌ත සමාජ, ආර්ථික, ආගමික ඇතුළු සකලවිධ ක්‌ෂේත්‍රයන්ම විනාශකාරී අර්බුදයකට මේ මොහොතේ නතුවී ඇති බවත් මෙම අර්බුදය නොදකින්නේ සහ ඒ පිළිබඳ සතුටු වන්නේ විනාශයට නායකත්වය දෙන්නවුන් හා එහි වරප්‍රසාද ලබන සුළු පිරිස බවත් ඒ හිමියෝ සඳහන් කළහ.

පවතින තත්ත්වයට විසඳුම් ලෙස අගමැතිවරයා අස්‌වීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ නව ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීම නොවන බවත් එයට එකම විසඳුම ජනාධිපතිවරයා ඉල්ලා අස්‌වීම බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

 

Rate this item
(0 votes)