April 29, 2024

19ට අතුරු සංශෝධනයක් එයි?

ජනාධිපතිවරයා රජයේ නායක, ආණ්ඩුවේ නායක හා කැබිනට් මණ්ඩලයේ නායක විය යුතුය යනුවෙන් වූ අතුරු සංශෝධනයක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකතු කිරීමට නියමිත බව වාර්තා වේ.

19 වෙනි සංශෝධනය තුළ මින් පෙර රාජ්‍ය නායකයා ලෙසත් කැබිනට් මණ්ඩලයේ නායකයා අගමැති ලෙසත් සටහන් වීමෙන් පරස්පරතාවයක් පැන නැගී තිබුණි. නව අතුරු සංශෝධනය අනුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමට අවශ්‍යතාවයක් පැන නොනැගෙන බව රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

තවද වත්මන් ජනාධිපතිවරයාගෙන් පසු විධායක ජනපති බලතල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ වගන්තිද සංශෝධනය වනු ඇතැයි වාර්තා වේ.

එම සංශෝධන සියල්ල සමග විධායක බලතල පාර්ලිමේන්තුවට හා ඇමැති මණ්ඩලයට පැවරෙනු  ඇත. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේ බලය නව සංශෝධනය අනුව පාර්ලිමේන්තුවට පැවරෙන අතර ව්‍යවස්ථාදායක සභාව විසින් මෙම පත් කිරීම් කරනු ඇත. තවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ‍ලේකම්වරු  පත් කිරීම ආදී විධායක බලතල ඇමැති මණ්ඩලයට පැවරෙනු ඇත.

19 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබන 7 වැනි දා කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිත අතර එදින පාර්ලිමේන්තුවේදී කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිවේදනය කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

ලබන 10 වැනිදා පාර්ලිමේන්තුවේදී 19 වෙනි සංශෝධනය විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය.

 

 

Rate this item
(0 votes)