May 02, 2024

‘වාහන 21 ක්‌ නෑ‘ - රාජිතගේ කතාවට මහින්දගෙන් පිළිතුරු (VIDEO)

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හිටපු ජනපතිවරයාටත් ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන්ටත් වාහන 21 ක්‌ සපයා ඇති බව කීවද සත්‍ය වශයෙන්ම ඇත්තේ වාහන හයක්‌ බව මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට මහතා නිවේදනය කර සිටී.

එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ කරමින් කැබිනට්‌ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 24 වැනිදා පවසා සිටියේ හිටපු ජනාධිපතිතුමාට අධි ආරක්‍ෂිත වාහන දෙකකුත්, ඒවාට සමාන තවත් වාහනයකුත් ඩිෆෙන්ඩර් ජීප් රථ එකක්‌, ටොයෝටා ලැන්ඩ්කෲසර් රථ එකක්‌ හා ඩබල් කැබ් රථ එකක්‌ද ලබාදී තිබෙන බවයි. සේනාරත්න මහතා තවදුරටත් පවසා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව සඳහා හමුදා සෙබළුන් 108 දෙනෙකුද, පොලිස්‌ භටයින් 105 දෙනෙකුද යොදවා ඇති බවත්ය. මෙකී ආරක්‍ෂක නිලධාරීන්ගේ භාවිතය සඳහා එක්‌ ලෑන්ඩ්කෲසර් රථයක්‌, ඩබල් කැබ් රථ තුනක්‌, වෑන් දෙකක්‌, බස්‌ රථයක්‌ හා යතුරුපැදි අටක්‌ සපයා තිබෙන බවයි.

සේනාරත්න මහතාට අනුව හිටපු ජනාධිපතිවරයාටත් එතුමාගේ ආරක්‍ෂක නිලධාරීන්ටත් සපයා ඇති මුළු වාහන ගණන 21 කි. නමුත් එය සත්‍ය නොවන ප්‍රකාශයක්‌ බව අප මහජනතාවට දන්වා සිටින්නට කැමැත්තෙමු. හිටපු ජනාධිපතිතුමාට සපයා ඇත්තේ වාහන 06 ක්‌ පමණි. එතුමාගේ ආරක්‍ෂක නිලධාරීන්ගේ භාවිතය සඳහා තිබුණු සියලුම වාහන ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා 2015.03.03 වනදා අංක එස්‌.පී/04/0/8 දරන ලිපියෙන් කළ නියමය පරිදි ඉවත් කොට තිබේ.

සේනාරත්න මහතා පවසන පරිදි හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව සඳහා හමුදා සෙබළුන් 108 දෙනෙකුද පොලිස්‌ භටයින් 105 දෙනෙකුද යොදවා තිබුණද, ඔවුන්ගේ භාවිතය සඳහා කිසිදු වාහනයක්‌ නැත. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා 2015 මාර්තු 16 වන දින වත්මන් ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාට ලිපියක්‌ යොමුකරමින් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂක නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා වාහන පහසුකම් නොමැතිවීම නිසා බරපතළ ප්‍රශ්න පැනනැගී ඇති බව දැනුම් දී සිටියද එම ලිපියට මෙතෙක්‌ ප්‍රතිචාර නැත.

හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාවට ඉහළම ප්‍රමුඛතාවයක්‌ ලැබිය යුතුය. හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂක නිලධාරීන්ගේ භාවිතය සඳහා වාහන නොතිබීමෙන් එතුමාගේ ආරක්‍ෂාව පිළිබඳ බරපතළ ප්‍රශ්න පැනනැගී ඇති බව අවධාරණය කර සිටිමු.“

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 March 2015 12:35