May 07, 2024

කිහිපදෙනෙකුගේ අවශ්‍යතා ඉටුකිරීමට ජනපති ක්‍රියා කරලා - ජනපති උපදේශකගෙන් දෝස්මුරයක්

විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට ජනාධිපතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දුව මගහරිමින් කිහිපදෙනෙකුගේ අවශ්‍යතා ඉටුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි ජනාධිපති ව්‍යවස්ථා කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය. 

ඔහු මේ බව පැවසූවේ කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී ඊයේ (17) පැවති විද්වත් සංවාදයකදී ය.

අනිවාර්යෙන්ම දැනට පවතින අන්තනෝමතික විධායක ජනපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ගෙන එන බවට මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන්ව තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය. 

එහිදී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසූවේ “විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල පමණක් ඉවත් කිරීමේ යෝජනාව සාර්ථකව කෙටුම්පතට දාගන්න පුළුවන් වුණු අය ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස දිගටම තියාගන්න ඕන කියනවා. ඔවුන් කියනවා විධායක ජනපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට පොරොන්දු වුණේ නෑ කියලා. මැතිවරණ ප්‍රකාශයෙන් පොරොන්දු වුණේ විධායක ජනපති ධුරයේ අත්තනෝමතික බලතල පමණක් ඉවත් කරන්නලු. මේක අමූලික බොරුවක්. 

සාමාන්‍ය ජනතාවට පොදු අපේක්ෂකයා දුන්නු පණිවිඩය වුණේ විධායක ජනපති ක්‍රමය නැති කරන බවයි. නමුත් බලපෑම් කරලා අලුතින් වෙනස්කම් කිරීමට දායක වුණු අයට අපි කියන්නෙ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විනාශ කරන්න එපා කියලා. එතුමාගේ ප්‍රතිරූපයට හානි කරන්න එපා. විධායක ජනපති ක්‍රමය නැති කරගන්න බැරි විදියට දියාරු සංශෝධන ඉදිරිපත් කරලා මේක නැවතුණොත් මේකෙ සම්පූර්ණ දොස් අහන්න වෙන්නෙත් මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. කවුද මේවා කියන්නෙ ජන පදනමක් තියෙන අයද මේ කතා කරන්නෙ.“ යැයි හෙතෙම සඳහන් කළේය.

“එක්සත් ජාතික පක්ෂයට ඉතාම හදිස්සියි මැතිවරණයකට යන්න. අපි ඒ අයට කියන්නෙ පටු විදියට හිතන්න එපා. දින 100 ක් බැරිනම් 180 වුණාට අපිට කමක් නෑ. මේ වැඩේ කරන්න ඕන. පටු වාසියට දේශපාලන තීන්දු ගන්නැතිව වැඩේ කෙරෙන පැත්තට මේක අරගෙන යන්න ඕන.“ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 March 2015 08:13