May 07, 2024

රජීව් විජේසිංහ විපක්ෂයට - පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය මෙන්න (VIDEO)

තවදුරටත් තමා වත්මන් ආණ්ඩුවේ කොටස්කරුවෙක් නොවන බවත් අද සිට මම ස්වාධීන මන්ත්‍රීවරයෙකු බවත් නමුත් තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරියටත් සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රජීව විජේසිංහ මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයේ අසුන් ගත්තේය.

තමන්ට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරයේ සේවය කිරීමේදී ඇති වූ ගැටලු පිළිබඳව අගමැතිවරයා දැනුවත් කළ බවත් ඊට ඔහු ඇහුම්කන් නොදුන් බව රජීව් විජේසිංහ මහතා පැවසීය.

තම ගැටලුව විසඳීමට නම් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විදේශගතව සිට පැමිණි විගස කටයුතු කරන බවට අගමැතිවරයා තමන්ට ‍පොරොන්දු වූ බවත් නිවැරදි ආණ්ඩුවක් තීන්දු තීරණ ගැනීමේ ක්‍රමවේදය එය නොවන බවත් රජීව් විජේසිංහ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ “චන්ද්‍රිකා මැතිනිය සමග කතා කරලා මට උත්තරයක් දෙන්නම් කිව්වා. නමුත් මේ වෙනකම් අගමැතිතුමා උත්තරයක් දුන්නේ නැහැ. මම තවදුරටත් මෙම පාර්ලිමේන්තුවේ ඇමැතිවරයෙක් නොවේ. මම ස්වාධීන මන්ත්‍රීවරයෙක් කියලා මම මේ ගරු සභාවට කියනවා. මම රජයේ මතයේ තවම ඉන්නවා. මට දුක විශ්ව විද්‍යාල දරුවන් ගැන. ඔවුන් මට ලිපි එවලා තිබුණා. මම සති හයක් ඇතුළත විශාල වැඩ කොටසක් කළා. මගෙන් පස්සේ මේ ඇමැතිකමට කාර්ය ශූර ඇමැති කෙනෙක් පත් කරයි කියලා මම හිතනවා.“

“19 වැනි සංශෝධනය ගැසට් කිරීම වැරදි සහගත ක්‍රියාවක් කියලා මම කියනවා. එක් එක් අය විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. අපි යහපාලනය ස්ථාපිත කළ යුතුයි. එය සිදුකළ නොහැකි කාර්යයක් නොවේ. මම ස්ථාවර නියෝග පිළිබඳව යම් යම් සංශෝධන ඉදිරිපත් කළා. අගමැතිවරයා එය පස්සට දැම්මා. විධායක බලතල සංශෝධනය කිරීමට මා විරුද්ධයි. මම මේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ කෙටි කාලයක් තුළ කටයුතු කළා. තවදුරටත් මම මේ ආණ්ඩුවේ කොටස්කරුවෙක් නොවේ. මම තවදුරටත් ජනාධිපතිතුමාට සහයෝගය දෙනවා.“

මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීමෙන් පසුව විපක්ෂයේ තෙවැනි පෙළ අසුනක අසුන් ගත්තේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)