April 28, 2024

තිස්ස දේශපාලන තීන්දුවක් ගැනීමට සැරසෙයි

ඉදිරියේදී දේශපාලනය සම්බන්ධයෙන් තීරණයකට එළැඹීමට තිබෙන බව එජාප හිටපු මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. 

ජනාධිපතිවරණ සමයේදී ව්‍යාජ ලේඛන සැකසූ බවට චෝදනා ලැබූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අදාළ නඩුව ඊයේ (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවී ය.

එම අධිකරණයට ගොස් නැවත පැමිණීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ආරාධනයක් සිදුකර නොමැති බවත් පක්ෂ මට්ටමින් සාකච්ඡා සිදු කර ඇද්ද යන්න තමන් නොදන්නා බවත් ඔහු පැවසීය.

“ඒ ගැන මම තාමත් හිතලා නෑ. මේ නඩුව අවසන් වන තුරු. නිශ්ශබ්දව ඉන්නේ ඒකයි.“ හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා ලිපියක් සැකසූ බවට වූ චෝදනා මත තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදා හැරිණි.

අද ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ පරීක්ෂණ තවමත් අවසන්ව නොමැති බව ය.

නඩු විභාගය ජූනි මස 3 වන දා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 March 2015 15:02