April 28, 2024

'බොරු චෝදනා කරන අයට මෛත්‍රිය ඇතිවේවා' - මහින්ද රාජපක්ෂ 

බොරු චෝදනා ඉදිරිපත් කරමින් හැම කෙනෙකුම හිර කූඩුවලට තල්ලු කරන්න හදන අය තුළ නැවත වාරයක් මෛත්‍රිය ඇතිවේවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ යාපහුව රජමහා විහාරයේ ඊයේ (10) පැවැති බෝධිපූජා පිංකමට සහභාගිවීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමිනි.

“බෝධි පූජා බලයෙන් රණවිරුවන්ට රටට සෙත් පතන අතර පාලකයින්ගේ සිත් තුළින් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව දුරුවේවා. පළිගැනීම නතර වේවා යයි ප්‍රාර්ථනා කරනවා. රැකියාවලින් අස්කරන දස දහස් පිරිසටත් නැවත රැකියා ලබා දෙන්නට මේ පාලකයින්ට සිත් පහළ වේවා.“ යැයි හෙතෙම සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ “අපට ඡන්දය ලබාදුන් පනස් අට ලක්ෂයක් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නිරතුරුව කැපවෙලා සිටිනවා.“

මෙම ආශිර්වාද බෝධි පූජාවට තුන් දහසකට වැඩි පිරිසක් සහභාගි වූ අතර එම පිරිස මඟ දෙපස රැස්ව හිටපු ජනාධිපතිවරයා ප්‍රීති ඝෝෂා නගමින් පිළිගත් අයුරු දක්නට ලැබුණි.

මෙම අවස්ථාවට වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන හිමි, පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේනාධිපති මැදගොඩ අභයතිස්ස හිමි යාපහුව රජමහා විහාරාධිපති මීගම්මන සිරිරථන හිමි ඇතුළු මහා සංඝරත්නයද පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බි. ඒකනායක, සාලින්ද දිසානායක, තාරානාත් බස්නායක මහතා ඇතුළු පළාත් සභා ප්‍රාදේශීය සභා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 16:25