April 27, 2024

මැතිවරණ ක්‍රමයේ වෙනසට මාස 3ක්‌වත් ඕනෑ - මැතිවරණ කොමසාරිස්‌ 

පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අවම වශයෙන් මාස තුනක්‌වත් ගතවන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අනෙකුත් පක්‌ෂ නියෝජිතයින්ට ඊයේ (10) දැනුම් දී තිබේ.

මැතිවරණ  ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස්වරයා මේ බව සඳහන් කර ඇත.

මැතිවරණ ක්‍රමය වෙනස්කොට කඩිනම් මැතිවරණයකට යාමේදී තම දෙපාර්තමේන්තුව මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දී ඇත.

ඡන්ද ක්‍රමයෙහි වෙනසක් වන්නේ නම් සීමානිර්ණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් එහිදී  දිනකට පැය 12 බැගින් රාජකාරි කළත් මේ ක්‍රමය සකසා අවසන් කිරීමට මාස 3ක වත් කාලයක් ගත වන බවත් මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දී ඇත.

මෙහිදී සියලු පක්ෂ සමානුපාතික හා කේවල යන දෙකෙහි සම්මිශ්‍රිත මැතිවරණ ක්‍රමයට එකඟ වී ඇතත් එය ක්‍රියාත්මක කරන ආකාරය  සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කර ඇත. සමානුපාතික ක්‍රමයට තෝරන මන්ත්‍රී  සංඛ්‍යාව හා කේවල ක්‍රමයට තෝරන මන්ත්‍රී සංඛ්‍යාව පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.

කෙසේ වෙතත් මෙහිදී පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු ආකාරය සම්බන්ධව අවසන් එකඟතාවකට පැමිණ නොමැති අතර නැවත ලබන 18 වැනි දා යළි රැස්වීමට තීරණය වී  ඇත. 

සුළු පක්‌ෂවලට අසාධාරණයක්‌ නොවන ලෙස මැතිවරණ ක්‍රමයට සංශෝධන ගෙන එන්නැයි අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා විපක්‌ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්‌, රිෂාඩ් බදියුදීන්, විඡේදාස රාජපක්‌ෂ, කරු ජයසූරිය, විජිත හේරත්, ආර්. සම්බන්දන්, එම්. සුමන්දිරන්, ඩග්ලස්‌ දේවානන්ද, තිස්‌ස විතාරණ, ඩිව් ගුණසේකර, දිනේශ් ගුණවර්ධන, පී. දිගම්බරන්, සී. රාධා ක්‍රිෂ්ණන්, ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරුන්ද සහභාගි වී තිබේ. 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 16:26