April 28, 2024

මහ බැංකු අධිපති ඉල්ලා අස්විය යුතුයි - බැඳුම්කර ගනුදෙනුව ගැන ජවිපෙ සම්පූර්ණ හෙළිදරව්ව 

පසුගියදා මහ බැංකුවෙන් සිදුකළ බැඳුම්කර නිකුතුවක් සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනයක් මතුවී ඇති බවත් මෙම ගනුදෙනුව සැලසුම් කළ එකක් බවත් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (10) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම ගනුදෙනුව පිළිබඳ ජනපති පත්කළ කමිටුවක් පිළිබඳ සෑහීමකට පත් නොවී විධිමත් පරීක්‍ෂණයක් අවශ්‍ය බවත් මෙම පරීක්‍ෂණයට පෙර මහ බැංකු අධිපතිවරයා තාවකාලිකව ඉල්ලා අස්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

පර්පර්චුවල් ටෙ‍්‍රෂරි ආයතනය මහබැංකු අධිපතිවරයාගේ බෑනාට සම්බන්ධ ආයතනයක් බව හෙළිවෙලා තිබීම හේතුවෙන් පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල අනුව නැවතත් මහ බැංකු අධිපතිවරයාට වැඩ බාරගැනීම හෝ ඉවත්වීම සිදුකළ හැකි බවද මන්ත්‍රීවරයා පැවසී ය.

“පසුගියදා මහ බැංකුවෙන් සිදුකළ බැඳුම්කර නිකුතුවක් සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනයක් මතුවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පළවු මාධ්‍ය වාර්තා තුළත් ඇතැම් විකෘති කිරීම් සිදුවී තිබෙනවා. සාමාන්‍ය පුද්ගලයින් ණයක් ගන්නවා වගේම රජය වෙනුවෙන් මුදල් ණයට ගන්නේ මහ බැංකුව නිකුත් කරන බැඳුම්කර මගිනුයි. ඊට අමතරව හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා මුදල් අච්චු ගහනවා. විදේශ රටවල බැංකුවලින් හෝ දේශීය මූල්‍ය ආයතනවලින් ණය ලබාගන්නවා. මුදල් අච්චු ගැසීම මගින් වෙනත් ගැටලූ මතුවෙන නිසා පහසුවෙන් සිදුකරන දෙයක් තමයි බැඳුම්කර නිකුත් කිරීම.“ 

“පසුගිය පෙබරවාරි 25 වැනිදා බැඳුම්කර නිකුත්කිරීම සම්බන්ධයෙන් මහබැංකුව දැන්වීමක් පළකර තිබුණා. 27වැනිදා වෙන්දේසියක් පැවැත්වෙන බව. එම බැඳුම්කර මේ වසරේ මාර්තු 01වැනිදා සිට 2045 මාර්තු 01 දා දක්වා අවුරුදු 30කින් කල්පිරෙන ලෙස පොලී අනුපාතය 12.5%ක් සඳහා රුපියල් මිලියන 1000ක් නිකුත් කිරීමට මහබැංකුව තීරණය කර තිබුණා. 12.5%ක පොලියක් සඳහා නිකුත් කළද එදිනට වෙළඳපොළ වටිනාකම තිබුණේ පොලී අනුපාතය 9.5%කටයි. මහබැංකුවේ ප‍්‍රාථමික ගනුදෙනුකරුවන් වන බැංකුවලට සහ තවත් මූල්‍ය ආයතනවලට අවම පොලී අනුපාතයක් වන 9.5%හි පොලී අනුපාතය දැනුම් දෙනවා. රුපියල් මිලියන 1000ක බැඳුම්කර සඳහා ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලූම්පත් කැඳවනවා. එහෙත් ලැබෙන ඉල්ලූම වන මිලියන 20,708න් මිලියන 10,058ක් ප‍්‍රදානය කරන්න මහබැංකුව තීරණය කරනවා. මෙම නිකුතුවෙන් මිලියන 5000ක්ම ලබාගන්නේ මහබැංකු අධිපතිවරයාගේ බෑනාට අයත් බව කියනු ලබන පර්පර්චුවල් ටෙ‍්‍රෂරි මූල්‍ය ආයතනය මගිනුයි. ඒක තමයි ගැටලූව බවට පත්වෙලා තිබෙන්නේ. එම ආයතනය බැඳුම්කර නිකුතුවෙන් හරි අඩක් ලබාගන්නේ කොහොමද? ඒ වගේම රුපියල් මිලියන 1000කට නිකුත් කිරීමට තීරණය කළ බැඳුම්කර මිලියන 10,000ක් දක්වා වැඩිවෙන්නේ කොහොමද?“ යනුවෙන් ඔහු ප්‍රශ්ණ කරයි. 

“සාමාන්‍යයෙන් මෙවැනි බැඳුම්කර නිකුතුවකදී ප‍්‍රාථමික බැඳුම්කරුවන්ට ලැබෙන්නේ 10%ක් පමණයි. එවැනි සම්ප‍්‍රදායක් පවත්වාගෙන යන්නේ ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් අතරේ අඩුම පොලී ප‍්‍රමාණයකින් බැඳුම්කර නිකුත් කිරීමටයි. නමුත් මෙම ගනුදෙනුවේදී මහබැංකු අධිපතිවරයාගේ බෑනාගේ සමාගම පමණක් විශාල බැඳුම්කර ප‍්‍රමාණයක් ඉල්ලුම් කරනවා. සාමාන්‍ය පොලී අනුපාතය 9.5% වෙනුවට ඔවුන් ඉල්ලුම් කරන්නේ 12.5%ක පොලී අනුපාතයකටයි. ප‍්‍රශ්නය තිබෙන්නේ පර්පර්චුවල් ටෙ‍්‍රෂරි ආයතනය මහ බැංකුව මිලියන 10,000ක් බැඳුම්කර නිකුත් කරන බව දැනගන්නේ කොහොමද? එනිසා මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන්න  ඕනෑ. “ යැයි හෙතෙම අවධාරණය කළේය.

“මෙම ගනුදෙනුව සැලසුම් කළ එකක්. ස්වභාවිකව සිදුවුන දෙයක් නෙවෙයි. මහ බැංකුව බැඳුම්කර නිකුතුව රුපියල් මිලියන 1000සිට 10,058 දක්වා වැඩිකරන්නේ ඇයි? මීට පෙර මහ බැංකුවෙන් සිදුකළ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව බැලූවොත් මෙම ගනුදෙනුව අවබෝධයක් ගන්න පුළුවන්. “ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 07:55