May 12, 2024

ශ්‍රීලංනිපය නව මැතිවරණ ක්‍රමයට ලෑස්තියි - ආසන මට්ටමින් අපේක්ෂකයන් තෝරා ගනී

ඉදිරි මහ මැතිවරණය කොට්ඨාශ ක්‍රමය සහිතව නව මැතිවරණ ක්‍රමයට පැවැත්වුවහොත් ඒ සඳහා මැතිවරණ කොට්ඨාශ සඳහා ශ්‍රීලංනිප අපේක්ෂකයන් තෝරා ගැනීමටද නියමිත බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය. 

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් පිළිබඳ සොයා බලා නැවත පත් කිරීමට තීරණය කර ඇති බවත් සමහර ආසනවල අපේක්ෂකයන් පත්කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

ඇතැම් ආසන සඳහා ශ්‍රීලංනිපයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සිටියහොත් එක් අපේක්ෂකයෙකු තෝරා ගැනීමට ක්‍රමවේදයක් තිබේද යන්න අප කළ විමසීමකදී ඔහු පැවසූවේ එවැනි මැතිවරණ කොට්ඨාශ තිබුණද අවස්ථාව ලබා දිය හැක්කේ එක් අයෙකුට පමණක් බවත් එවැනි අවස්ථාවක එම ආසනය දිනවිය හැකි අපේක්ෂකයාට අවස්ථාව ලබා දිය යුතු බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත්කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

මේ වන තෙක් ආසන සංවිධායකවරුන් පත්කිරීමේ බලය පැවරුණේ පක්ෂයේ සභාපතිවරයාට වන අතර පසුගිය 04 වැනිදා රැස්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම බලය අදාළ කමිටුවට ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

ඒ අනුව එම කමිටුවේ සභාපතිවරයා ලෙස විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරන අතර එහි සාමාජිකයන් වන්නේ පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත සහ පක්ෂ මහ ‍ලේකම් අනුර ප්‍රියදර්ශන යන මහත්වරුන්ය.  

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 March 2015 07:12