May 12, 2024

යාපනය මන්දිරය ගැන ‘මහින්ද‘ පිළිතුරු දෙයි

පසුගිය රජය සමයේ යාපනයේ ඉදිකළේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් බවත් එය මන්දිරයක් නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නිකුත් කර නිවේදනයක දැක්වේ.

උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරතවන විදෙස් ත්‍රාන්ත්‍රිකයින්ට අවශ්‍ය සම්මන්ත්‍රණ ශාලා පහසුකම් මෙම ශාලාව තුළ ස්ථාපිත කර ඇති බවත් උතුරු නැගෙනහිර සංචාරයක නිරත වන විදෙස් ත්‍රාන්ත්‍රිකයින්ට නවාතැන් ගැනීමට පහසුකම්ද මෙම සම්මන්ත්‍රණ ශාලාව තුළ ස්ථාපිත කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

එම සියලු නවීන පහසුකම් සහිත මෙම සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිකිරීමට කැබිනට් අනුමැතියද හිමි වූ බවත් එය ජනාධිපති මන්දිරයක් බවට ජනතාව නොමග යවන ප්‍රකාශ සිදු නොකරන ලෙසත් එම නිවේදනයේ දැක්වේ.

කෙසේවෙතත් යාපනය, කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදිකරමින් පැවති එම ජනාධිපති මන්දිරය, පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වූ බව මාධ්‍ය වාර්තා කළේය.

එම ඉදිකිරිම් සදහා මේ වන විට වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 250කි බවද වාර්තා විය.

හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව මාධ්‍යයට නිකුත් කළ එම නිවේදනය පහතින් දැක්වේ.

“මාගේ භාවිතය සඳහා කන්කසන්තුරේ ඉදි වෙමින් පැවති ජනාධිපති මන්දිරයක් යැයි කියන ගොඩනැගිල්ලක රූප ජනමාධ්‍ය  ඔස්සේ  ප්‍රචාරය කෙරුණි. කන්කසන්තුරේ ඉදිවෙමින් පැවති කිසිදු ජනාධිපති මන්දිරයක් නැති බව ජනතාවට දැනුම් දීමට මම කැමැත්තෙමි. 

1980 ගණන් වලදී කොටි ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන තුරු ජනාධිපති මන්දිරයක් යාපනය කොටුව තුළ තිබුණු බව මෙහිදී මතක් කර දිය යුතුය. එය අද දක්වාම නැවත ඉදිකර නැත. කන්කසන්තුරේඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයකි. එහි ඉදිකිරීම් කටයුතු භාරව හිටියේ නාවුක හමුදාවයි. ලංකාවේ වැඩිම ඉල්ලුමක් තිබෙන සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වන බණ්ඩාරනාක සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, නෙලුම් පොකුණ වැනි ආයතන සියල්ල පැවතියේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේය.

කන්කසන්තුරේ හා ආරුගම්බේ යන ස්ථානවල ඉදිවෙම්න් පැවති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යනන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නොයෙක් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලටත්, උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට පැමිණෙන විදෙස් රාජ්‍ය නායකයින් හා වෙනත් දෙස් විදෙස් අමුත්තන්ගේ ප්‍රයෝජනය සදහාත් මෙම මධ්‍යස්ථාන භාවිතා කිරීමට සැලසුම් කර තිබුණි.

සාමය උදාවීමත් සමග මේ ප්‍රදේශවලට යන එන දෙස් විදෙස් අමුත්තන්ගේ ගණන විශාල වශයෙන් වැඩිවනු ඇතැයි අපේක්ෂාකරන ලදී. මෙකි මධ්‍යස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති සෙසු සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වලින් වෙනස් වන්නේ ඒවායේ නවාතැන් පහසුකම්  ද සපයා තිබීමෙනි. මේ ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථාන ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී තිබුණි.

මෙවැනි ආයතන ඉදි කිරීම ජනාධිපති මන්දිර සඳහා සිදු කරන නාස්තිකාර වියදමක් හැටියට හුවා දැක්වීම පසුගිය වකවානුව පුරාම මට එරෙහිව පැවති අවලාද ව්‍යාපාරයේ කොටසක් බව කිව යුතුය. 

මේ සාවද්‍ය ප්‍රචාර වලින් නොමග නොයන මෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි.“ 

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 06 March 2015 07:30