May 07, 2024

පක්ෂයේ තහනම නොතකා ප්‍රසන්න 'මහින්ද අගමැති' කිරීමේ සටනට යයි

කවුරු මොන තහංචි දැම්මත් නුගේගොඩට වඩා මහනුවර රැස්‌වීමට ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ගේ පැමිණීම වැළැක්‌විය නොහැකි යයි බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහ ඇමතිවරයා මේ බව පැවසූවේ මිනුවන්ගොඩ වෙළෙඳ සංකීර්ණය ඊයේ (04) විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි.

ශී‍්‍ර.ලං.නි.ප මහජන නියෝජිතයින්ට වෙනත් පක්ෂ සංවිධානය කරන රැස්වීම් වලට සහභාගී වීම තහනම් කළද, සිය පෞද්ගලික මතය මාධ්‍යයට ප‍්‍රකාශ කිරීම තහනම් කළද මහනුවර රැස්වීමට ශී‍්‍ර ල.නී.ප. පාක්ෂිකයන් සහභාගී වීම වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව ද හෙතෙම සඳහන් කළේය.

කුමන තත්ත්වයන් යටතේ වූවත් කුමන කොන්දේසි පැනෙව්වත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති බවට පත්කිරීමේ සටන අත්නොහරින බවද නුගේගොඩ රැස්වීමට ආ පිරිසට වඩා වැඩි පිරිසක් මහනුවර රැස්වීමට එනු ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

මේ ගමන තනතුරු, වරදාන, වරප්‍රසාද වෙනුවෙන් යන ගමනක්‌ නොවන බවත් මෙය හෘද සාක්‍ෂියට එකඟව යන ගමනක්‌ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා නොකර අපට අනාගතයක්‌ නැති බවත් කුමන දේ නැතිවුණත් තමන් මේ ව්‍යායාමය අත්නොහරින බවත් ප්‍රසන්න රණතුංග මහතා පැවසී ය.

පක්‍ෂයක්‌ යනු බෝඩ් ලෑල්ලක්‌ නොවන බවත් පක්‍ෂය රැකගැනීමට නම් පාක්‍ෂිකයන්ගේ මතයට ඉඩ ලබාදීමට පක්‍ෂ නායකත්වය කටයුතු කළයුතු බවත් ප්‍රධාන ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 March 2015 08:37