May 07, 2024

මහ මැතිවරණයකට පෙර ජාතික ආණ්ඩුවක් බෑ - රනිල් මෛත්‍රීට කියයි 

මහ මැතිවරණයකට පෙර ජාතික ආණ්ඩුවකට යාමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම්දී ඇතැයි රජයේ දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ජනතාවට ‍පොරොන්දු වූ දින 100 වැඩසටහන තුළ මහ මැතිවරණයකට පෙර ජාතික ආණ්ඩුවක් පත්කිරීම පිළිබඳ සඳහන් කොට නොමැති බව ද අගමැතිවරයා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බව වාර්තා වේ. 

මාර්තු දෙවැනි සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය  පළ නොකරන්නේ නම් මහ මැතිවරණයකට යොමුවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කොට ඇත. 

මැතිවරණ ක්‍රමය වෙනස් නොකොට විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකොට 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි බලාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අකමැති බව ප්‍රකාශ කොට තිබේ. පසුගිය 26 වැනි දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අගමැතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අතර පැවැති සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ වී ඇතැයි ද වාර්තා විය. 

එමෙන්ම මහ මැතිවරණයට පෙර ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙස මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා තිබුණි. ඊට එක්සත් ජාතික පක්ෂයේ එකඟතාවක් පළ වී නොමැති අතර මෙවැනි කරුණු නිසා අගමැතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)