April 27, 2024

ඇමතිධූරයෙන් ඉවත් වූ රජීව හා ෆයිසර් ජනපති හමුවීමට සූදානම් 

February 25, 2015

වර්තමාන රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ පසුව අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාපා මහතා හා මහාචාර්ය රජීව විඡේසිංහ මහතා සිය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ඉදිරි දිනයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට තීරණය කර තිබේ.

මහාමාර්ග, උසස්‌ අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා තමාගේ ගැටලුව විසඳන බව ප්‍රකාශ කළ බවත් තමාට අමාත්‍යධූරයෙන් නොයන ලෙස ඔහු ඉල්ලා සිටි බවත් නමුත් කබීර් හෂීම් අමාත්‍යවරයාට අගමැතිවරයා එම ගැටලුව විසඳීමට උපදෙස් දී නොමැති බැවින් තමා ඉල්ලා අස්වී ඊයේ(24) දිනයේදී නිල වාහනද භාරදුන් බවත් මහාචාර්ය රජීව විඡේසිංහ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ සාකච්ඡා කර විසදුමක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ට මීට පෙර ප්‍රකාශ කළ බවත් නමුත් පසුගිය 16 වැනි සඳුදා තමාට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට දුරකතනයෙන් කතා කරන බවට ප්‍රකාශ කළද තමාට කිසිදු දුරකතන ඇමතුමක් ලබා නොදුන් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් මීට පෙර රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ ෆයිසර් මුස්තාපා මහතා හා තමන්ද ජනාධිපතිවරයා හමුවී ඉදිරි දිනයකදී සාකච්ඡා කිරීමට නියමිත බව ද මහාචාර්ය රජීව විඡේසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.

මේ පිළිබඳ අප කළ විමසීමකදී හිටපු රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමා හා මහාචාර්ය රජීව විඡේසිංහ මහතා ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවත් ඒ සඳහා තවම දිනයක් වෙන් කර ගෙන නොමැති බවත්ය.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ධූරයේ ඇති බලතල හා කාර්යයන් පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් පවතින බවත් මීට පෙර රජයන්හි පැවති රාජ්‍ය අමාත්‍යධූරයන්හි බලතල හා නිවැරදි කාර්යය පටිපාටියක් තිබූ බවත් ෆයිසර් මුස්තාපා මහතා වැඩිදුරටත් පැවසී ය.

සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාපා මහතා පසුගියදා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී වූ අතර සිය ඉල්ලා අස්වීම පිළිබඳ කරුණු දක්වන මුස්තාපා මහතා ඒ සඳහා බලපෑ ප්‍රධානතම හේතුව වූයේ පෞද්ගලිකව හා වෘත්තීයමය වශයෙන් ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුවීම බව සඳහන් කර තිබිණි.

තමාට ඉවත් වීමට වෙනත් හේතුවක් නොමැති බවත් පැවැති රජයෙන් තමන් ඉවත් වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කර ගැනීම සඳහා වන සටනට උරදීමට බවත් රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත්වීම නිසා ඒ සටනට තමන්ට වෙනදාට වඩා වැඩිපුර කාලයක් යෙදවීමට හැකි බව මුස්තාපා මහතා එහිදී ප්‍රකාශ කර තිබිණි.

මේ අතර සිය අමාත්‍යාංශයට සිදුවන අතපෙවීම් නිසා උසස්‌ අධ්‍යාපන රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත්ව සිටි මහාචාර්ය රජීව විඡේසිංහ මහතා තමන් පාවිච්චි කළ වාහන දෙකද අමාත්‍යාංශයට ඊයේ (24) භාර දුන්නේය.

(ප්‍රභාත් මාතරගේ)

Rate this item
(0 votes)
Last modified on Friday, 27 February 2015 09:39