May 06, 2024

කුමාර් ගුණරත්නම්ට සමාව දෙන්න පක්ෂ අතර එකඟතාවයක් - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

February 24, 2015

කුමාර් ගුණරත්නම් මෙරටින් ගියේ ඔහුට ලංකාවේ සිටීමට නොහැකි තරම් තර්ජන පැවති නිසා බවත් ඒ හේතුවෙන් ඔහුට සමාව ලබා දිය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

කුමාර් ගුණරත්නම් ආගිය අතක් නැතැයි පළ වී ඇති මාධ්‍ය වාර්තා පිළිබඳ  අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සැඟවී ඇතැයි පළ වී ඇති කතා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් කුමාර් ගුණරත්නම්ට සාධාරණයක් ඉටුවෙන බවට තම පක්ෂය බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

ඔහු ජීවිත තර්ජන පැවතීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ගොස් රැකවරණ ලබාගත් බවත් එහිදී කුමාර් ගුණරත්නම් වෙනත් නීති විරෝධි කටයුතු සිදු නොකළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කුමාර ගුණරත්නම්ට දේශපාලනය කිරීමට අයිතිය ලබාදීම පිළිබඳ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ කැමැත්ත පළ කර ඇති බව ද මේ හේතුවෙන් කුමාර ගුණරත්නම්ට සමාව ලබා දීමට ඉඩ තිබෙන බවද  ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේ “ කුමාර් ගුණරත්නම් සහෝදරයා ලංකාවෙන් ගියේ ඔහුට ලංකාවේ සිටීමට නොහැකි තරම් තර්ජන පැවති නිසයි. දැන් ඔහු ලංකාවට පැමිණ සිටිනවා. ඔහුට දේශපාලනය කිරීමේ අයිතිය ඉල්ලා අපි අධිකරණය ගියා. අධිකරණය පැවසුවේ මෙය අධිකරණ සීමාවේ පවතින දෙයක් නොව විධායකයේ සීමාවේ පවතින දෙයක් බවයි. විධායකයේ බල සීමාවේ පවතින දෙයකට ඇගිලි ගැසීමට සූදානම් නැති බව අධිකරණය පැවසුවා. එසේනම් මේ අවස්ථාවේදී කුමාර් ගුණරත්නම් සහෝදරයාට දේශපාලනය කිරීමේ අවස්ථාව ලබාදිය යුතුයි. එය ලබාදිය යුත්තේ විධායකයයි. මේක අධිකරණයේ ප්‍රශ්ණයක් නොවෙයි. දේශපාලන ප්‍රශ්ණයක්. මේ නිසා කුමාර් ගුණරත්නම් සහෝදරයාට දේශපාලනය කිරිමේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළ යුතුයි.“ 

කුමාර් ගුණරත්නම් මහතා පසුගිය 13 වන දින තෙක් පිටුවහල් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන විගමන පාලකවරයාට නියෝග කර තිබිණි.

සංචාරක වීසා මගින් මෙරටට පැමිණි කුමාර් ගුණරත්නම් මහතා ආගමන විගමන නීති උල්ලංඝණය කර ඇති බැවින් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මීට පෙර පොලිස්පතිවරයාට දැනුම් දී තිබූ බව වාර්තා විය.

පසුගිය ජනපතිවරණයේදී ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 February 2015 07:32