May 06, 2024

ප්‍රසන්න රණතුංග බස්‌නාහිර මහ ඇමැති ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක්!

February 23, 2015

බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඉවත් කර පළාත් සභා අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා මහ ඇමැති කරවීමේ කුමන්ත්‍රණයක්‌ ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආරංචි මාර්ග පවසයි.

රජයේ ප්‍රබල ඇමැතිවරයකු මැදිහත් වී මෙම වෙනස සිදුකිරීමට යන බවත් පසුගිය 18 වැනිදා මහින්ද අගමැති අපේක්‍ෂකයා කරවන ලෙස ඉල්ලා නුගේගොඩ පැවැති රැස්‌වීමට මහ ඇමැතිවරයා සහභාගි වීමෙන් පසුව කුමන්ත්‍රණය සක්‍රීය වී ඇති බවත් නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

බස්‌නාහිර මහ ඇමැති ධුරයෙන් ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඉවත් කර විපක්‍ෂ නායකව සිටි හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති ලෙස පත්කර ගෙන තිබෙන බවත් එම ක්‍රියාපිළිවෙතම වෙනත් ආකාරයෙන් බස්‌නාහිර පළාත් ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට යන බවත් එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. 

මෙම කුමන්ත්‍රණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බහුතරය විරෝධය පළකරන බවද එම නිසා මහ ඇමැතිවරයාට අධිකරණයට යෑමට පවා සිදුවූ බවද හෙතෙම පැවසීය.

තමා ඇතුළු පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ අයටත් පාර්ලිමේන්තුවේ සිටින විපක්‍ෂයේ අයටත් ගමට යෑමට නම් මහින්ද මහත්තයා සිටිය යුතු බවට මතයක්‌ දැන් රට තුළ පැනනැගී ඇති බැවින් එම ජනමතයට සවන්දීම දේශපාලනඥයන් කටයුතු කළ යුතු බව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

ගමේ මතයට රනිල් වික්‍රමසිංහ මහතා කන් නොදීම නිසා එක්‌සත් ජාතික පක්‍ෂයට දිගු කලක්‌ විපක්‍ෂයේ රැඳී සිටීමට සිදුවූවාක්‌ මෙන් මහජන මතයට කන් නොදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගමනක්‌ යන්නේ නම් එහි ප්‍රතිඵල මහා මැතිවරණයෙන් පසුව දැකගත හැකි වන බවද මහ ඇමතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 23 February 2015 16:07