April 28, 2024

නුගේගොඩ ජන රැළියට 'හිටපු ජනපතිගෙන් පණිවුඩයක්' 

February 18, 2015

රට ගැන හිතන, රට වෙනුවෙන් කැපවන ඔබගේ ඒ අපේක්ෂාවන් නොසලකා සිටීමේ හැකියාවක් කිසිසේත් තමාට නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

‘මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද?‘ මැයෙන් අද (18) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැති ජන රැළියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පණිවිඩ‍යක් එවා තිබූ අතර එය දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.

නුගේගොඩට එක්ව සිටින ජනතා පවුරේ දෑත් බොහෝම තදින් වැළඳගන්නා බව හිටපු ජනාධිපතිවරයාගේ එම සුබපැතුමේ පණිවුඩයේ සඳහන් වේ.

හිටපු ජනාධිපතිවරයා විසින් එවන ලද එම සුබපැතුම් පණිවිඩයේ සඳහන් කරුණු දයාන් ජයතිලක මහතා රැස්ව සිටි ජනතාව හමුවේ මෙසේද ඉදිරිපත් කළේය.

"අප භුක්ති විඳින්නේ පරාජයක් නොව කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. පරාජය පරාජයක් ලෙස පිළිගන්නට මම  කිසිසේත් නොපසුබට වෙමි. අවමානය ද මට නුහුරු දෙයක් නොවේ. හිරගෙය පවා මට නුහුරු දෙයක් නොවේ. මගේ ජනතාව වෙනුවෙන් මා මේ සියල්ලම විඳ පුරුදු ඇති බව සියලුදෙනා දන්නා කරුණක්. බොහෝ දෙනා පරාජයට හුරුවුවන් වුවත් ගෞරවනීය ජයග්‍රහණයක හිමිකරුවන් විය හැක්කේ අවංක නායකයෙකු පමණක් බව මාගේ විශ්වාසයි. මම එම අභිමානවත් ජයග්‍රහණ භුක්ති විඳීමටද ඉඩ ලැබූ අයෙක්. කොටි ත්‍රස්තවාදය පරාජය කර රට මරණ මයෙන් මුදවා ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ලොව මවිත කළ ජයග්‍රහණ ලබාදීමට හැකි වූ බව සිහිපත් කරමි.

එසේම යළි එවන් ජයග්‍රහණ රටටත්, ජනතාවටත්, ලබාදිය හැක්කේ ද ඒ සඳහා යහපත් අරමුණ සහිතව එකතුවන සන්ධානයකට පමණයි. එවන් ජයග්‍රාහි අරමුණ පෙරදැරිව නුගේගොඩට එක්ව සිටින ජනතා පවුරේ දෑත් බොහෝම තදින් වැළඳගන්නවා. රට ගැන හිතන රට වෙනුවෙන් කැපවන ඔබගේ ඒ අපේක්ෂාවන් නොසලකා සිටීමේ හැකියාවක් කිසිසේත් මට නොමැති බව මම අවධාරණය කරමි.

පරාජය නොවූ අපට බලය අහිමි වුවද සියලුදෙනාගේ යාත්‍රාව එක්සත් ජනතා නිදහස් සන්ධානය" යැයි ද හිටපු ජනපතිගේ සුබපැතුම් පණිවි‍ඩයේ සඳහන් බව දයාන් ජයතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 February 2015 09:40