April 27, 2024

නුගේගොඩ රැළියට එන්නැයි දිනේෂ්ගෙන් 'මහින්දට ඇරයුමක්'

අද නුගේගොඩ පැවැත්වෙන ජන රැළිය සඳහා සහභාගී වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කර ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

'මව්බිම අනතුරේ - මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද?' මැයෙන් පවත්වනු ලබන ජාතික රැලිය අද (18) සවස 3.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

එම ජාතික රැලිය සඳහා සන්ධානයේ සියලුම පක්ෂවලට හා නායකයින්ට ආරාධනා කර ඇති බවත් සන්ධානයේ පක්ෂ රැසක් ඊට සහභාගීවීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ශාඛා සමිති නියෝජිතයින්ද දිවයින පුරා පිහිටි පක්ෂයේ නියෝජිතයින්ද මෙම රැළියට සහභාගී වන බවද ඒ අනුව ඉතිහාසගත ජනතාවක් අද රැළියට සහභාගී වනු ඇති බව තමන් අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම රැළිය සංවිධාන කිරීමේදී හා අවසර ලබා ගැනීමේදී ගැටලු මතුවූවාද යන්න අප කළ විමසීමකදී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ නගර සභාවේ අනුමැතිය හා පොලීසියේ අනුමැතිය මෙම ජන රැළිය සඳහා ලබා දී ඇති බවත් මෙම රැළියට සහභාගී වන පිරිස හේතුවෙන් මාර්ග තදබදයක් ඇති වීම වැලැක්වීමට පොලීසිය ක්‍රියාකරනු ඇති බවත්ය.

මේ වනවිට ඇති තොරතුරු අනුව විශාල ජනතාවක් නුගේගොඩ පැවැත්වෙන මෙම ජන රැළියට සහභාගීවීමට ස්වෙච්ඡාවෙන් පැමිණෙන බවට වාර්තා වන බවත් ඒ සඳහා සන්ධානයේ පළාත් සභා හා පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ද විශාල පිරිසක්ද සහභාගී වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

(ප්‍රභාත් මාතරගේ)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 February 2015 13:01