May 10, 2024

'නිල් බලකාය' ගැන සුසිල් හා අනුර යාපා අතර හතරබීරි කතාවක්

February 17, 2015

නිල් බළකාය සම්බන්ධයෙන් පක්ෂය විසින් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

නිල් බළකාය අහෝසි කිරීම පිළිබඳවද තීරණයක් ගෙන නොමැති අතර පක්ෂයේ තරුණ සංවිධානය ප්‍රතිසංවිධාන කිරීමට තීරණය කර ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

එහෙත් පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධාන ප්‍රතිසංවිධාන කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාද, ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන මහතාද පත් කෙරිණි.

මේ අතර එම කමිටුව මගින් තරුණ සංවිධානය බලගැන්වීම සිදු කරන බවත් ඉදිරියේදී නිල බලකාය අහෝසි කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව මගින් තීරණයක් ගැනීමට නියමිත බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසූවේ නිල් බළකාය නමින් මෙතෙක් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය මින් මතුවට ක්‍රියාත්මක නොවන බවයි.

‘අතීතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ව්‍යුහය තුළ ‘නිල් බලකාය’ වැනි සංවිධාන ක්‍රියාත්මක වුනේ නැහැ. අපට තිබුණේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය සහ කාන්තා සංවිධානය වැනි ආයතනයි. ඉදිරි කාලයෙහි පක්ෂයට අනුබද්ධ සංවිධාන හැටියට එම සංවිධාන ක්‍රියාත්මක වෙනවා’ යැයි එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එජනිප පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙතෙක් නිල් බළකායේ නායකත්වය ගෙන කටයුතු කළේය. එය ශ්‍රීලංනිපයේ තරුණ සංවිධානය ලෙසද ක්‍රියාත්මක විය.

(ප්‍රභාත් මාතරගේ)

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 February 2015 15:34