May 10, 2024

යුද අපරාධ වාර්තාව මාස 06කින් පමා වෙයි 

February 16, 2015

ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදු විනැයි චෝදනා එල්ල කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් මාස මාස හයකින් ප්‍රමාද කරන බව මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් මහතා නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධ යුද අපරාධ පරීක්ෂණයේ වාර්තාව නිකුත් කිරීම පමා කිරීමට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා එකඟ වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පැවසී ය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් ආරම්භ කිරීම පිණිස, ජාත්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව නිකුත් කිරීම මාස කිහිපයකින් පමා කරන්නැයි ශ්‍රී ලංකා නව රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම අමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ද ඉල්ලා සිටියේය.

එම තීන්දුව ගැනීම දුෂ්කර කරුණක් වූ බවත් පළමු කාලසටහන අනුව කටයුතු කිරීම සහ වාර්තාවේ නිගමන ප්‍රකාශයට පත් කරනු ලැබීම තරමක් කල් තැබීම සම්බන්ධයෙන් දැඩි විවාදයක් පැවති බවත් මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරයා සඳහන් කරයි.

මෙය එක් වතාවක් පමණක් සිදු කෙරෙන කල් තැබීමක් වන බවත් හෙතෙම අවධාරණය කරයි.

මානව හිමිකම් ක්‍රියාදාමයේ සමස්ත වැදගත් භාවය සම්බන්ධයෙන් සිය කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පවත්නා සූදානම සම්බන්ධයෙන් තමා වෙත පැහැදිලි පණිවුඩයක් ලැබී ඇති බව මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් මහතා සඳහන් කළේය.

තමාට පෙර පදවියේ කටයුතු කළ නවී පිල්ලේ විසින් පත් කරන ලද කීර්තිමත් විශේෂඥයන් තුන් දෙනා ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුව තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට දක්වන මනාපය සඳහා කාල පරාසයක් ලබා දීම සඳහා එක් තාවකාලික කල් තැබීමකට එකඟතාවය දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කරයි.

"මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් වඩාත් පුළුල් සහ ශක්තිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම් වස් තවත් කාලය ලබා දෙන මෙන් ඉල්ලා සිටීමට තීරණය කළෙමි," යනුවෙන්ද මහ කොමසාරිස්වරයා සිය නිවේදනයේ දක්වා තිබේ.

මෙය පරීක්ෂණ වාර්තාව යටපත් කිරීමේ හෝ දිය කර හැරීමේ පළමු පියවර ලෙසින් ශ්‍රී ලංකාවේ දී සිය මානව හිමිකම් උල්ලංඝණයට ලක් වූ බොහෝ ජනතාව දකින්නට ඉඩ ඇතැයි තමාට හොඳින්ම වැටහෙන බවත් මහ කොමසාරිස්වරයා පැවසී ය.

එහෙත් වාර්තාව නිකුත් කිරීම පමා කිරීම යනු එය යටපත් කිරීමේ උත්සාහයක් නොවන බවත් එය ලබන සැප්තැම්බර් මාසයේ නිකුත් කරන බවට තමන් පුද්ගලිකවම සහතික වන බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 16 February 2015 23:02