May 10, 2024

"මහින්ද ප්‍රේමී" කණ්ඩායම ගෝඨාට දැල දමති

February 16, 2015
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලන කරළියට ගෙන ඒමේ ව්‍යාපාරය හා එක්වන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර අනෙකුත් පක්ෂ කිහිපයක් විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇති බව වාර්තා වේ.
 
විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතු පක්ෂ වලින් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති අතර හෙට (18) ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වනු පිණිස නුගේගොඩ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ද  නියමිතව ඇත.
 
කෙසේ වෙතත් එම කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත පවසා සිටියේ අදාළ රැස්වීමට සහභාගී වනවාද නැද්ද යන්න පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් වරයාගෙන් ස්ථිර පිළිතුරක් මේ වන තෙක් ලැබී නොමැති බව ය.
 
පසුගිය වසරේ  මැයි මස "දේශය" ඉරිදා පුවත්පතට සාකච්ජාවක් ලබා දෙමින් ගෝඨාභයරාජපක්ෂ මහතා පවසා සිටියේ දේශපාලනයට පිවිසීමට පෞද්ගලික මට්ටමේ උනන්දුවක් තමාට නොමැති බවත් තම සොහොයුරාට අවශ්‍ය නම් එම අභියෝගය බාරගැනීමට තමා නොපැකිළෙන  බවත් ය. මැතිවරණයකට තරඟ කරනවානම් එසේ තරඟ කිරීමට බලාපොරොත්තු වන්නේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මිස හම්බන්තොට නියෝජනය කරමින් නොවන බව එම සාකච්ජාවේදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ය. 
 
එළඹෙන මහ මැතිවරණයේදී දේශප්‍රේමී කඳවුරේ අගමැති අපේක්ෂක ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ  යුතු බව පවසමින් හෙට දින පැවැත්වීමට නියමිත ප්‍රසිද්ධ රැස්වීමට තම පක්ෂය සහය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මේ වන විට ප්‍රකාශ කර ඇත.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 February 2015 07:32