May 10, 2024

මෛත්‍රී - මෝදි හමුව අදයි  

February 16, 2015

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි  සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(15) ප.ව 5.00 ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි  ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළගා විය.

ජනාධිපතිවරයා හෙට (17) දිනයේ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතා මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

මීට අමතරව ජනාධිපතිවරයා දේශපාලන පක්ෂ නායකයන් සහ අනෙකුත් ප්‍රභූන්ද මුණගැසීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (15) පස්වරුවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ තැන්පත්කර තිබෙන අවලෝකිතීෂ්වර බෝධි සත්ව ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සහ පුෂ්‍පෝපහාර දැක්වීමද සිදුවිය.

අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස වෙනුවෙන් ඉන්දියානු ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා පිරිනමන රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා සහභාගි විය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නිරත වන පළමු විදේශ සංචාරය මෙයයි.

අද (16) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවන ජනාධිපතිවරයා එහිදී විනාඩි 45ක විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙහිදී දෙරට අතර ඇති ධීවර ප්‍රශ්න සහ අත්අඩංගුවේ සිටින ධීවරයින් නිදහස් කිරීම උතුරේ පුනරුත්ථාපන කටයුතු මෙන්ම තවත් සුවිශේෂී කරුණු ගණනාවක් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

එහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් භෝජන සංග්‍රහයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජි මහතා සමගද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුස්මා ස්වරාජ් මහත්මිය සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරයේදී එරට කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය හා තවත් දේශපාලන පක්ෂ නායකයන් සහ ප්‍රභූවරුන් රැසක්ද හමුවීමට නියමිතය.

මෙහිදී ජනාධිපතිවරයා ලෝකය පුරා ව්‍යාප්ත වුණු කර්මාන්තවලට හිමිකම් කියන ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයන් රැසක්ද හමුවන අතර ඔවුන් ව්‍යාපාරික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම එම සාකච්ඡාවල අරමුණ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස බුද්ධගයා විහාරස්ථානයේ සහ තිරුපති කෝවි‍ලේ ආගමික වතාවත්වල නිරත වීමටද නියමිතය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ‍ලේකම් පී.බි. අබේකෝන් යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටී.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 February 2015 11:15